10
78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් විධායක ජනාධිපති ධුරය ස්ථාපිත කළ මොහොතේ සිට මේ දක්වාම ඊට එරෙහිව හඬ නැඟූවන් බොහෝය. එය අහෝසි කරන ලෙස ඉල්ලා එකී බලය තහවුරු කරගෙන තමන්ගේ පොරොන්දු අමතක කළ අයද, බොහෝය.
1978 ව්‍යවස්ථාව තුළින් මෙරට විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපිත කළ දා සිටම එයට එරෙහිවීමත්, එය අහෝසි කරලීම පිළිබඳ සාකච්ඡාවත් මෙරට දේශපාලන කරළියේ විටෙන් විට මතුවෙමින් යටයමින් පවතියි. ආරම්භයේදීම ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය ප්රමුඛ මෙරට වාමාංශික ව්‍යාපාරය ඊට එරෙහිව ප්‍රබල හඬක් නඟන ලදි. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා විසින් ද, මෙම ව්‍යවස්ථාවේ ප්රජාතන්ත්ර විරෝධී, ඒකාධිපති ස්වරූපය පිළිබඳ කුඩා පොත් පිංචක් පවා ලියා පළ කරන ලදි. Critical Analysis of the new Constitution of Sri Lanka නමැති මෙම කුඩා කෘතිය අවසානයේදී ඔහු මෙසේ පවසයි.
“මට කිසිදු සැකයක් නැහැ, අනාගතයේදී බොහෝ ව්‍යවස්ථාව ගැන හදාරන්නන් කියාවි ව්‍යවස්ථාවක් නොසෑදිය යුත්තේ කෙසේද යන්නට උදාහරණයක් ලෙස 1978 ශ්‍රී ලංකා ව්‍යවස්ථාව ගන්න කියලා”.
ඇන්.ඇම්. එසේ කීවද, විධාය ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව හා කතිකාව ප්රබලව මතුවී එන්නේ 1994 ජනාධිපතිවරණය සමගය. 88 – 89 භීෂණ යුගයේදී, රාජ්‍ය මර්දනය සමගින් බෙහෙවින් දුර්වලව ගිය ජනතා විමුක්ති පෙරමුණ නැවත සක්‍රීය දේශපාලනයට කලඑළි බසින්නේද, 94 දීය. පක්ෂය ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයට අනුගත වෙමින් ප්‍රසිද්ධ දේශපාලනයට අවතීර්ණ වීම සිදුවන්නේද, මේ කාලයේය. හා හා පුරා කියමින් ශ්‍රී ලංකා ප්රගතිශීලි පෙරමුණ ලෙස මල් බඳුන ලකුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන නිහාල් ගලප්පත්ති මහතා එවක ජනාධිපතිවරණයේ ජවිපෙ නියෝජනයයි. එහෙත් ජනාධිපතිවරණයට සීමිත දින ගණනක් තිබියදී ඔහු ඡන්ද සටනින් ඉවත්වීමට තීරණය කරයි. එහිදී පුද්ගලයෙකු ලෙස මෙන්ම පක්ෂයක් ලෙසද, ජනතා විමුක්ති පෙරමුණේ ආස්ථානය වන්නේ ‘විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ‘ පොරොන්දුව විශ්වාස කරමින් චන්ද්‍රිකා මැතිනියට සහයෝගය පළ කිරීමයි. ඒ අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය 94 ජනාධිපතිවරණයෙන් එනම් මෙරට පැවති තෙවන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන ලදි. 1994 නොවැම්බර් 9 දින ජනාධිපතිවරණය පැවැත්වුණු අතර මැතිවරණ සහභාගීත්වය 70.47% කි. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් 62% ක් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට ලැබිණි. එහෙත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් සිදුනොවිණි.
උතුරු-නැඟෙනහිර සිවිල් යුද්ධයේ උච්ඡතම කාලපරිච්ඡේදයක් වූ 1999 වසරේ දී නැවත ජනාධිපතිවරණයක් පැවැත්වුණේ එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ධුර කාලයෙන් පස් වසරක් ගත වූ අවස්ථාවේදීය. පක්ෂ තහනම ඉවත් වීමෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෙකු තරග කළ පළමු ජනාධිපතිවරණය මෙය වූ අතර, 1982 රෝහණ විජේවීර තරග කිරීමෙන් පසුව ජනාධිපතිවරණයට එම පක්ෂයේ අපේක්ෂකයෙකු තරග කළ පළමු අවස්ථාව ද විය. ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක නන්දන ගුණතිලකට මෙම ජනාධිපතිවරණයෙන් 4.08%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණ අතර, අන් කිසිදු අපේක්ෂකයෙකුට 1% ඡන්ද ප්‍රතිශතය පසු කිරීමට නොහැකි විය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොරොන්දුව නැවත සිහිපත් කෙරුණද, එය ඡන්ද පොරොන්දුවක් පමණක්ම වෙමින් යළි යටපත්ව ගියේය. 1999 දෙසැම්බර් 22 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය දෙවෙනි ධුර කාලය සඳහා යළි දිවුරුම් දුන්නාය.
නියමිත කාලයට වසරකට පෙරාතුව ජනාධිපතිවරණය පැවැත්වීම නිසා, සිය දෙවෙනි ධුර කාලයට එය එකතු විය යුතු බව පවසමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළාය. නමුත් පෙත්සම නිෂ්ප්‍රභ කළ අධිකරණය මැතිවරණය පැවැත්වීමට ක්‍රියා කරන ලෙස තීන්දුවක් ප්‍රකාශයට පත් කරන ලදි. ඒ අනුව 2005 දී යළි ජනාධිපතිවරණය පැවැත්විණි. එකී ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන ලදි. මෙහිදීද, මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා යුද්ධය අවසන් කිරීමයි. 2010 ජනාධිපතිවරණයේදී රටේ සමස්ත ඡන්ද භාවිතයේ ප්‍රතිශතය 74%ක් වුවත්, යාපනය හා වන්නි දිස්ත්‍රික්කවල ඡන්ද භාවිතයේ ප්‍රතිශතය පිළිවෙළින් 25.66%ක් 40.33%ක් විය. කෙසේ වෙතත්, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොරොන්දුව, ‘කඩවුණු පොරොන්දුවක්’ම බවට පත්වෙමින් යළි යටපත්වී ගියේය.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පොරොන්දු පත්‍රයට සීමා වුවද, එයම නැවත නැවතත් ඉල්ලීම මෙම නායකයින්ගේ ස්වභාවය විය. නැවත වරක් සිය ධුර කාලය දීර්ඝ කර ගැනීමේ බලාපොරොත්තුවෙන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය සේම යමින් මහින්ද රාජපක්ෂ නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් කැඳවීය. 2015 දී පැවති මෙම ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත් වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමිනි. ප්‍රබල තරගයකින් පසු මෛත්‍රීපාල සිරිසේන ඡන්ද 62,17,162ක් ලබා 51.28% ක ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජය ගනු ලැබිණි. Òයහ පාලන ආණ්ඩුවක්Ó ලබා දීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ විය. යහපාලනය උදෙසා රටට වින කරන ‘විධායක ජනාධිපති ධුරය“ අහෝසි කිරීම තම පළමු පියවර බව හෙතෙම සිය මැතිවරණ ව්‍යාපාරය තුළ පුන පුනා සඳහන් කළේය. එවක රු.10ක කාබන් පෑනක් භාවිත කළ, ඉතා සරල ගති පැවතුම්වලින් යුතු බව කියූ, රාත්‍රී 10 ට නින්දට යන, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද, අවසානයේ දෙවෙනි වරටත් තමාට විධායක ජනාධිපති ධුරය සඳහාම තරග කිරීමට යළි සහය නොලැබෙන බව දැනගත් මොහොතේ සිට එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ආණ්ඩුව තුළම කැරලි ගසන තත්ත්වයට ඇදවැටිණි.
එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පමුණුවන්නට ඉමහත් කාර්යභාරයක් කළ “ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය, 2014 ජූලි මාසය පමණ වන විට ජනාධිපති ධුර අපේක්ෂකයින් වෙනුවෙන් පොතක් පවා ප්‍රකාශයට පත් කර තිබිණි. ‘මහ හෙණය පරදවමු“ යන මැයෙන් පළ කරන ලද එම කෘතියේ “සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ නායක, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවක් ආශ්රිත ලිපියක් අන්තර්ගතය. එහිදී උන්වහන්සේ මෙසේ පවසයි.
“මේ වෙලාවෙ අපි පොදු අපේක්ෂකයෙකු නිර්මාණය කරන්නේ අති විශේෂ වැඩකොටසකට. ඒ වටේ තමයි ජනතාව එකතු වෙන්නෙ. එතකොට මාස 6ක් යනකොට පත්වෙන ජනාධිපති අදාළ ප්‍රතිසංස්කරණ සිදුකරලා, පාර්ලිමේන්තුවට බලය පවරා ඉවත්ව යා යුතුයි. නැතිනම් ඒක ජනයා බලාගනීවි” (පිටුව.64).
මාදුළුවාවේ සෝභිත හිමියන් ප්රමුඛ ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ බලාපොරොත්තු පවා එලෙස බිඳ දමනු ලැබුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය.
තත්ත්වය මෙසේ තිබියදී ඉකුත් සතියේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියද, අපූරු නිවේදනයක් නිකුත් කර තිබිණි. එහි සඳහන් වූයේ මෙවර ජනාධිපතිවරණයේදී තමන් කිසිදු අපේක්ෂකයෙකුට සහය නොදී මධ්‍යස්ථව සිටීමට තීන්දු කර ඇති බවයි. එසේම එකී නිවේදනයේ මෙසේද, සඳහන් විය.
“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රමුඛත්වය ලබා දීම, අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය, කර්මාන්ත සහ ව්‍යවසායන්, ජාත්‍යන්තර වෙෙළඳාම යන කරුණු කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දිය යුතුය“. ඇය ජනාධිපති ධුර අපේක්ෂකයින්ගෙන් ඉල්ලා තිබිණි. තමාට වරක් නොව දෙවරක්ම මහජනයා විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා බලය ලබාදුන්නද, ඒ වෙනුවෙන් කිසිවක් නොකොට මේ මොහොතේ සෙසු ජනාධිපති ධුර අපේක්ෂකයින්ගෙන් එය ඉල්ලා සිටීම කෙතරම් සදාචාර සම්පන්නද?
මේ අනුව 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් විධායක ජනාධිපති ධුරය ස්ථාපිත කළ මොහොතේ සිට මේ දක්වාම ඊට එරෙහිව හඬ නැඟූවන් බොහෝය. එය අහෝසි කරන ලෙස ඉල්ලා එකී බලය තහවුරු කරගෙන තමන්ගේ පොරොන්දු අමතක කළ අයද, බොහෝය. එකී අද්විතීය බලය තමන්ගෙන් ගිළිහී ගිය පසු සෙස්සවුන් එකී බලයෙන් වැජඹෙනු දකින්නට අකමැතිව ශෝකාලාප කියන්නවුන්ද, හිඟ නොවේය. ජනාධිපතිවරණයට තව ඇත්තේ දෙසතියකටත් අඩු කාලයකි. එහෙත් එදා මෙදාතුර කාලයේ විධායක ජනාධිපති ධුරයට එරෙහිව හඬ නැඟූවන් හෝ ක්‍රියාත්මක වූ කිසිවෙකුත් මෙදාසැරේ දේශපාලන වේදිකාවකවත්, ඒ වගක් සිහිපත් කරන බවක් නොපෙනේ. වෙනස එපමණය.
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර






