32
දේශපාලන බිමේ නොමැකී අමරණීය නාමය පවතින දේශපාලනඥයෝ සිටියහ. තවත් සමහරුන්ගේ නම් වසර දෙක තුනෙන් ජනතා සිත් සතන්වලින් මැකී යයි.
එවැනි අමරණීය නාමයකි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා.
ජීවිත කාලයම පොදු ජන සුභසිද්ධිය වෙනුවෙන් කැප වූ ඇන්.ඇම්. පෙරේරාට පෞද්ගලික ජීවිතයක් නොවීය. ඔහුගේ චරිත කතාවත් ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ කතාවත් දෙකක් නොව එකකි.
ඔහුට විනෝදාංශ දෙකක් විය. එකක් නම් පොතපත කියවීමයි. අනෙක තමා උපන් බිමේ දුක් විඳින ජනතාව එම දුකින් ගොඩගැනීම සඳහා ඇප කැපව ක්‍රියා කිරීමයි
බොහෝ දෙනා ඔහු පිළිබඳ දන්නේ මෙරට සමාජවාදී සමාජයක් ගොඩනගන්නට ඇප කැපව ක්‍රියා කළ පුද්ගලයකු ලෙසිනි.
ඇන්.ඇම්. ගේ බහුශ්‍රැතභාවය සහ ඔහු ලද අධ්‍යාපන ජයග්‍රහණ ගැනත් දන්නේ අල්ප වූ පිරිසකි.
ඇන්.එම්. මූලික අධ්‍යාපනය ලබන ලද්දේ කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. පියා කොළඹ තොටලඟ මාකට්ටුවේ වෙළඳුන්ගෙන් දිනපතා මුදල් අයකර අයිතිකරුට දීම රැකියාව ලෙස කළේය. මේ නිසා ඔහුගේ පවුලට මුදල් අතින් අපහසුතා රැසක් විය.
අම්මාට දවසේ වියදමට දුන්නේ සතයක් බවත් පියා ගොඩනැඟුණේ සතෙන් සතය එකතුකර බවත් ඇන්.ඇම්. කියා තිබිණි. ඉඩකඩම් වතුපිටි කිසිවක් ඔහුට නොවීය.
සාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙන ගනිද්දී අධිරාජ්‍යවාදී හැඟීම් තම සිතෙහි පැළ කරන්නට එහි ගුරුභවතුන් ක්‍රියා කළ බවත්, මේ පරිසරයෙන් වෙන් කර ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු කළ බවත් කියැවේ.
ආනන්ද විද්‍යාලයට ඇතුළත් වීමෙන් පසු ඔහුගේ ගමන් මග ප්‍රභාමත් වූයේ විදුහල්පතිව සිටි පී. ද ඇස්. කුලරත්න මහතා ප්‍රමුඛ ගුරු මණ්ඩලයෙනි.
බළන්ගොඩ ආනන්ද මෛත්‍රය හිමි, ආචාර්ය ගුණපාල මළලසේකර, පී. වීරමන්ත්‍රී, status cv රණවක, ජේ.එස්. දිනේන්ද්‍රදාස, යූ.ඩී. එදිරිසිංහ, එස්.එල්. මෙත්තානන්ද මේ ගුරු මණ්ඩලයේ සිටි කිහිප දෙනෙකි.
මේ ගුරු මණ්ඩලය තුළ තිබුණේ ජාතික සංස්කෘතිය මෙන්ම පාරම්පරික උරුමයන් යළි ඔප්නැංවීමේ දේශ හිතෛෂී සමාජයක් බිහි කළ යුතුය යන අදහසය.
අධිරාජ්‍යවාදීන්ගේ ඇවැතුම් පැවැතුම්වලට සාන්ත තෝමස් විදුහලේ තමාව ඇදී ගිය අතර තම දේශීය සංස්කෘතියට අපේකමට යොමු වූයේ ආනන්ද විද්‍යාලයෙන් බව ඇන්.ඇම්. චරිතාපදාන කතාවක දක්වා තිබේ.
ඉගෙනීමෙහි අති දක්ෂයකු වූ ඇන්.ඇම්. ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට වරම් ලැබුවේය. ඒ අවුරුදු දහනමයේදීය. මුලින් කලා විෂයන් හැදෑරූ ඔහු එහි මධ්‍ය පරීක්ෂණයෙන් සමත්ව පසුව විද්‍යා විෂයන් හදාරා එහි මධ්‍ය පරීක්ෂණයෙන් ද සමත් විය.
ඔහුගේ ඉගෙනීමෙහි දක්ෂතාවය සහ සිය ඥාති හිමි නමකගෙන්ද උදව් ලබා එංගලන්තයට ගොස් වැඩිදුර අධ්‍යාපනය හදාරන්නට අවස්ථාව ලැබිණි.
ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වූ හැරල්ඩ් ලැස්කිගේ ගෞරවාදරයට පත් ශිෂ්‍යයකු ලෙස ක්‍රියා කළ ඇන්. ඇම්. 1929 වසරේ වසරේදී ලන්ඩන් school…. ඉකොනොමික්ස් විශ්වවිද්‍යාල පීඨයෙහි අර්ථශාස්ත්‍රය පිළිබඳව ඩී.එස්.සී. ගෞරව උපාධිය හිමිකර ගත්තේය.
අනතුරුව 1931 දී අර්ථ ශාස්ත්‍රය හා දේශපාලන විද්‍යාව පිළිබඳ phd උපාධිය හිමිකර ගත්තේය.
තවදුරටත් ඉගෙනීම කරගෙන ගිය ඇන්.ඇම්. විද්‍යාව සම්බන්ධයෙන් ලැබිය හැකි ඉහළම උපාධිය වන ඩී.එස්.සී. උපාධිය ලබා ගත්තේ පාර්ලිමේන්තුව පිළිබඳ තුලනාත්මක අධ්‍යයනය නැමැති පර්යේෂණ නිබන්ධනය ඉදිරිපත් කරමිනි.
මෙරට දේශපාලනයේ සිටි බුද්ධිමතුන් අතර ඇන්.ඇම්. වැනි බුද්ධිමතුන් මෙතෙක් පහළ වී නැත. ඔහු සිය බුද්ධිය මෙහෙය වූයේ ‘යළි පණ උපද්දාගත යුතු පරපුරක් බිහි කිරීම උදෙසා ජන ජීවිත මුළුමනින්ම වෙනස් කළ යුතුය’ යන අභියෝගයක පිහිටාය.
ආචාර්ය උපාධියේ කබායත් dsc උපාධියේ ලෝගුවත් ගලවා පසෙකට දැමූ ඇන්.ඇම්. කොට කලිසමක් ඇඳ මහ මගට පිළිපන්නේය.
දැනුම උපාධිය හා සමාජ තත්ත්වය ආදිය පසෙකින් තැබූ ඔහු මැලේරියා වසංගතයෙන් හා දුප්පත්කමින් පරිපීඩිත වූ තුන්කෝරළයේ පීඩිත ජනයාට පාරක් පාරක් ගානේ නියරක් කුඹුරක්ඟානේ ඇවිද තරුණ පිරිසක් ද සමඟ බේත් හේත් කෑම බීම ලබාදී කාරුණික වෛද්‍යවරයෙක් සේ පිහිට විය.
සමාජයේ ඉහළ යැයි කියන ප්‍රභූන්ට භයාදුව සිටි ජනයාට ඒ තත්ත්වයෙන් මිදෙන්නට බුද්ධිය ලබාදීමද ඔහුගේ ව්‍යායාමයක් විය.
කෙතරම් ඉහළ අධ්‍යාපනයක් ලැබුවත් ඔහු බුද්ධිමානයෙන් තොර නිහතමානී පුද්ගලයෙක් විය.
මිතුරන්ගේත් සතුරන්ගේත් විචාරකයන්ගේත් මත විවේචන හොඳින් අසා සිටි ඔහු පිළිගත යුතු දෙයක් වේ නම් නොවළහා පිළිගත්තේය.
සොරකම, වංචාව ඔහු මෙන්ම ඔහුගේ දේශපාලන මාවතින්ද අසන්නට දකින්නට නොලැබිණි. කුමන ගැටලුවක් වුවද සිනා මුසු මුවින් විඳ දරා ගත් ඔහු කිසිම විටෙක කලබලයට පත් වූයේ නැත. සම සමාජ පක්ෂයේ අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයට සහාය දැක්වූ උපාධිධාරී කාන්තාවන් රැසක් එකල විය. විවියන් ගුණවර්ධන, කුසුමා ගුණවර්ධන, සෙලීනා මාග්‍රට් පීරිස් ඒ කිහිප දෙනාගෙන් පසුව ඇන්.ඇම්.ගේ බිරිඳ බවට පත් වූයේ සෙලීනා පෙරේරාය.
පොදු ජනයා සමඟ එක්ව සූරිය මල් ව්‍යාපාරය ගෙන යද්දී ඒවා ජනයාට අලෙවි කරද්දී මේ කාන්තාවෝද එයට එක් වූහ.
රුවන්වැල් ආසනයට 1935 දී ඇන්. ඇම්. තරග කරද්දී සෙලීනා උද්‍යෝගයෙන් ආධාර කරන්නට විය. ඇන්.ඇම්. මැතිවරණ කටයුතුවල නියෙළෙද්දී සෙලීනා සමඟ විවාහ වීමට නම් දී තිබිණි.
දේශපාලන හා සමාජ සේවා කටයුතු නිසා දෙදෙනාටම විවාහ වීමට යොදා ගෙන තිබූ දිනය අමතක විය.
ඇන්.ඇම්.ට විවාහ රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලිපියක් ලැබිණි.
ඇන්.ඇම්. විවාහ දිනය දිගු කර ගැනීමට රුපියල් දෙකයි පනහක මුද්දර ගාස්තු ගෙවීය. ඔහු කිසිදු උත්සව සම්භාෂණයක් නොගත්තේය. දෙදෙනා විවාහ විය විවාහය සඳහා ඇන්. ඇම්.ට වැය වූයේ රුපියල් දෙකයි පනහකි.
විවාහයෙන් පසුවත් ඔවුන් දෙදෙනාම කාලය යෙද වූයේ දේශපාලන කටයුතුවලටය.
වමේ දේශපාලන කතිකාවේ එන වීර කතාවක් වන බස් ගර්ල් සඟවා තැබුවේ සෙලීනාය. ඒ ඇය සොයා දුන් නිසල නිවාසයකය.
ඇන්.ඇම්. බොම්බයි සිරගෙදරකින් පැන ගොස් ඉන්දියානු ජාතික සටනට සහාය දෙද්දී සෙලීනාත් ඇන්.ඇම්. සමඟ විය.
දයා සෝමසිරි






