Home Sport News Room : තහනම් උත්තේජක චෝදනා එල්ලවූ දික්වැල්ල ජාතික විනය කමිටුව ඉදිරියට

News Room : තහනම් උත්තේජක චෝදනා එල්ලවූ දික්වැල්ල ජාතික විනය කමිටුව ඉදිරියට

0
0

තහනම් උත්තේජක භාවිත කොට එල්පීඑල් තරගාවලියේ ක්‍රීඩා කළ ගෝල් මාවලර්ස් නායක නිරෝෂන් දික්වැල්ල ජාතික විනය කමිටුව ඉදිරියට මේ සතියේ කැඳවන බව ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය පවසයි. බොහෝ දුරට මේ 23 වැනිදා එම විනය පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර, එහිදී ඔහුට එරෙහිව ගතයුතු ක්‍රියා මාර්ග තීරණය කරනු ඇත. එහිදී ඔහු තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් නිදහසට කරුණක් ඇත්නම් ඉදිරිපත් කළ යුතු අතර, ඒ අනුව ඔහුට පැනවෙන දඬුවම ජාතික විනය කමිටුව තීරණය කරනු ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 12කගේ මුත්‍රා නියැදි ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය පරීක්ෂාවකට ලක් කළ අතර, එයින් නිරෝෂන් දික්වැල්ලගේ පමණක් තහනම් මත්ද්‍රව්‍යයක් වන කොකේන් ධනාත්මක බව තහවුරුවී තිබේ. මේ පරීක්ෂණ වාර්තා ලැබූ වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් දික්වැල්ලට නැවත දැනුම් දෙනතුරු තාවකාලික තරග තහනමක් පැනවීය.

මේ සිද්ධියේදී දික්වැල්ල වැරදිකරු වුවහොත් සියලු ආකාරයේ ක්‍රීඩාවලින් වසර හතරක තහනමකට මුහුණ දිය යුතුවේ. එපමණක් නොව, ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය භාවිතය සපුරා තහනම් බැවින් ඔහුට අපරාධ චෝදනා ද එල්ල විය හැකිය. එමෙන්ම පාර්ලිමේන්තු පනතකින් සම්මත කරන ලද ජාතික තහනම් උත්තේජක මර්දන වගන්ති අනුව ඔහුගේ පුහුණුකරුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමේ හැකියාව ද පවතී.

2021 ජුනි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ, එංගලන්ත තරග සංචාරය තුළදී කොරෝනා නීති උල්ලංඝනය කරමින් ජෛව ආරක්ෂිත බුබුළ බිඳ දැමීමේ චෝදනාව දික්වැල්ලට මීට පෙර එල්ල වූවේය. එහිදී දික්වැල්ල ඇතුළු ක්‍රීඩකයන් තිදෙනකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වසරක ජාත්‍යන්තර තරග තහනමක්, මාස 6ක දේශීය තරග තහනමක් සහ දඩ මුදලක් පැනවිය. කෙසේ වුවද ඔවුන්ට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර තරග තහනම සහ දේශීය තරග තහනම 2022 වසරේ ජනවාරි මස 7 වැනිදා ඉවත් විය. එතැන් සිට මේ දක්වා දික්වැල්ල දෙස් විදෙස් තරග බිමේ ක්‍රිකට් ක්‍රීඩා කළේය.

මහනුවර ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලැබූ ඔහු 2014 සිට ටෙස්ට් තරග 54කට එක්දින තරග 55කට හා විස්සයි20 තරග 28කට ශ්‍රී ලංකාව නියෝජනය කළේය. මෙවර එල්පීඑල් තරගාවලියේ තරග 10කදී ලකුණු 184ක් ලබාගත් අතර, අවසන් මහා තරගය දක්වා කණ්ඩායම මෙහෙයවිය.

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here