78
නැඟෙනහිර චීනයේ ෂෙජියැං ප්‍රාන්තයේ පිහිටි ලොව කාර්යබහුලතම වරායක් වන නිංග්බෝ ෂෞෂාන් වරායේ බහාලුම් පර්යන්තයේ නැංගූරම් ලා තිබූ බහාලුම් නෞකාවක ඊයේ පස්වරුවේ විශාල පිපිරීමක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ පස්වරු 1.45ට පමණ එම පිපිරීම සිදුවී ඇත්තේ යාං මිං මැරීන් ප්‍රවාහන සමාගමට අයත් වයි එම් මොබිලිටි නමැති අන්තරායකර ද්‍රව්‍ය බහාලුම් නෞකාවක බවත්, එය ගිනි ගැනීමත් සමඟ එම වරායේ අංක 2 පර්යන්තය ගිනි ගැනීමකට ලක් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
කෙසේ වුවද එම පිපිරීමෙන් ජීවිත හානි කිසිවක් සිදු නොවූ බවත්, ගිනි නිවන ඒකක වහා ක්‍රියාත්මක වී ගින්න මැඬ පැවැත්වීමට කටයුතු කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එම වරායේ පාලනාධිකාරිය පිපිරීමට හේතුව මේ වන විට විමර්ශනය කරමින් සිටින බව ද වාර්තා වේ.







