Home Sport News Room : කඳුරට නිල් මහ සටන අද ඇරඹේ

News Room : කඳුරට නිල් මහ සටන අද ඇරඹේ

0
0

මහනුවර ත්‍රිත්ව විදුහල සහ සාන්ත අන්තෝනි විදුහල අතර 105 වැනි වරට පැවැත්වෙන කඳුරට නිල් මහ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (15) සහ හෙට (16) ත්‍රිත්ව විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

‘ජෝන් හලංගොඩ අනුස්මරණ කුසලානය’ වෙනුවෙන් ඩයලොග් අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙවර තරගයේදී ත්‍රිත්ව විදුහල මනුල කුලරත්නගේ නායකත්වයෙන් ද සාන්ත අන්තෝනි විදුහල තිසර ඒකනායකගේ නායකත්වයෙන් ද තරග බිමට පිවිසෙයි.

වසර 1914දී ආරම්භ වූ මේ මහා තරගය මෙතෙක් පැවති අවස්ථා 104න් 23 වරක් ජය ගැනීමට ත්‍රිත්ව විදුහල සමත්ව ඇති අතර, සාන්ත අන්තෝනි පිල සතු ජයග්‍රහණ සංඛ්‍යාව 11කි. තරග 70ක් ජය පරාජයෙන් තොරව නිමා වී තිබේ. සාන්ත අන්තෝනි පිලේ අවසන් ජය 1992දී උමේෂ් ද අල්විස්ගේ නායකත්වයෙන් වාර්තා වන අතර, 2012 වසරේ නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වය යටතේ ත්‍රිත්ව විදුහල අවසන් ජය වාර්තා කර තිබේ.

මේ තරගයට සමගාමීව දෙවිදුහල් අතර රිචඩ් අලුවිහාරේ කුසලානය වෙනුවෙන් 42 වැනි එක්දින තරගය මේ 23 වැනිදා පැවැත්වේ.

මේ විදුහල් ද්විත්වයෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් රැසක් දායාද කර තිබේ. කුමාර සංගක්කාර, කෞෂල්‍ය වීරරත්න, සචිත් පතිරණ, නිරෝෂන් දික්වැල්ල, ළහිරු කුමාර හා මතීෂ පතිරණ ත්‍රිත්ව විදුහලෙන් ද මුත්තයියා මුරලිදරන්, රුවන් කල්පගේ සහ පියල් විජේතුංග සාන්ත අන්තෝනි විදුහලෙන් ද සිය ක්‍රිකට් දිවිය අරඹා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here