15
ආයුධ සන්නද්ධ කණ්ඩායම් විසින් සිදු කරනු ලබන අරගලය හේතුවෙන් හයිටි රාජ්‍යය අරාජික තත්ත්වයකට ඇද වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ආයුධ සන්නද්ධ කණ්ඩායම් මෙල්ල කිරීමට එරට ආරක්ෂක අංශ මෙතෙක් සමත් වී නැතැයි ද වාර්තාවේ. එරට පෝර්ටු ප්‍රින්ස් අගනුවර වැඩි ප්‍රමාණයක බලය ආයුධ සන්නද්ධ කණ්ඩායම් අත්කරගෙන සිටින බවත්, උද්ගත වී ඇති තත්ත්වය හේතුවෙන් එරට හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.
ආයුධ සන්නද්ධ කණ්ඩායම් මැඬ පැවැත්වීමේ අරමුණින් පසුගියදා දින තුනක ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ ද, එම කාල සීමාවේදී පොලිස් ස්ථාන ඇතුළු රජයේ ආයතන ගණනාවකට ආයුධ සන්නද්ධ කණ්ඩායම් දැඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. හයිටි අගමැති ඒරියල් හෙන්රි සිය තනතුරෙන් ඉවත් නොවන්නේ නම් හයිටි රාජ්‍යයේ ජන සංහාරයක් බවට පත් විය හැකි සිවිල් යුද්ධයක් ඇතිවනු ඇතැයි ද ආයුධ සන්නද්ධ කණ්ඩායම් නායකයා මීට පෙර අනතුරු අඟවා තිබිණි.






