17
නැෂනල් සුපර් ලීග් (එන්එස්එල්) ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය හෙට (10) දඹුල්ල සහ මහනුවර කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වේ.
පසුගිය වසරේ ශූරයන් වූ මිනෝද් භානුකගේ නායකත්වයෙන් තරග කරන දඹුල්ල කණ්ඩායම සිය ශූරතාව රැකගැනීමේ අරමුණින් මේ තරගයට එක් වෙයි. මහනුවර කණ්ඩායම මූලික වටයේදී නිරෝෂන් දික්වැල්ලගේ නායක්තවයෙන් තරග කළ අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට එක්වීම හේතුවෙන් මේ තරගය අහිමි වී තිබේ.
මූලික වටයේ සහභාගි වූ තරග 4න් 3ක් ජය ගැනීමට දඹුල්ල සමත් වූ අතර, ඒ අනුව ප්‍රසාද ලකුණු 6ක් සමඟින් ඔවුන් අවසන් තරගයට එක් විය. මහනුවර සමඟ පසුගිය වසරේ අනුශූරයන් වූ යාපනය සහ ගාල්ල කණ්ඩායම් ජයග්‍රහණ දෙක බැගින් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු 4 බැගින් හිමි කර ගත්තේය. ඒ අනුව අවසන් තරගයට එක්වන දෙවැනි කණ්ඩායම දළ ලකුණු වේගය මත තීරණය වූ අතර, 0.791ක වේගයක් රඳවාගත් මහනුවරට අවසන් තරගයට එක්වීමේ අවස්ථාව හිමි විය. යාපනය -0.087ක් සහ ගාල්ල -0.5570ක වේගයක් සටහන් කර තිබිණි.
මෙවර තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර ඉදිරියෙන් පසුවන ෂෙහාන් ප්‍රනාන්දු – 249 (ගාල්ල), නිපුන් කරුණානායක – 240 (යාපනය) සහ ජනිත් ලියනගේ – 225 (යාපනය) අවසන් තරගය අහිමි වී ඇති අතර, සිවුවැනි තැන පසුවන කමිල් මිෂාර (221) මහනුවර කණ්ඩායමත්, 5 වැනියා වන පවන් රත්නායක දඹුල්ල කණ්ඩායමත් (182) නියෝජනය කරති.
කඩුලුලාභීන් අතර පෙරමුණ ගෙන සිටින ළහිරු කුමාර (9) මහනුවර පිල නියෝජනය කරන අතර, දෙවැනියා සහ තෙවැනි වන තරිඳු රත්නායක (8) සහ ප්‍රභාත් ජයසූරිය (7) කොළඹ පිල නියෝජනය කිරීම හේතුවෙන් අවසන් තරගය අහිමි වී තිබේ. සිවුවැනි තැන පසුවන විශ්ව ප්‍රනාන්දු දඹුල්ල කණ්ඩායමට එක්ව සිටී.
නිරෝෂාන් ප්‍රියංකර








