15
- මවුපියෝ වගකිවයුත්තන්ට දඬුවම් ඉල්ලති
- රුපියල් කෝටියක වන්දි මුදලත් එපා කියති
ඉල්ලීම් කිහිපයක් මුල් කරමින් පසුගියදා ඉන්දියාවේ ඇරඹුණු ගොවි විරෝධතා අතරතුර පන්ජාබ්- හර්යානා ප්‍රාන්ත සීමාව අසලදී පොලිස් වෙඩි පහරකින් මිය ගිය බව කියන 21 හැවිරිදි තරුණ ගොවියකුගේ මරණය මුල් කරමින් පැවති විරෝධතාව තවදුරටත් උත්සන්න වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. එම මරණය සිදු වී ඇත්තේ විරෝධතා මැඬපැවැත්වීමට පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් කෝපයට පත් දහස් සංඛ්‍යාත ගොවීන් ආරක්ෂක අංශ සමඟ ගැටුමක් ඇතිකරගත් අවස්ථාවේදී බව වැඩිදුරටත් වාර්තා වේ. ෂුභාකරන් සිං නමැති තරුණ ගොවියාගේ මරණයත් සමඟ ගොවි විරෝධතා මෙහෙය වූ එහි නායකයන් රජය සමඟ සාකච්ඡා කිරීම නවතා දමා ඇති අතර, මරණයට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් කරන තුරු මරණ පරීක්ෂණය පැවැත්වීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ඔහුගේ මරණයට වන්දි වශයෙන් ඉන්දිය රජය විසින් පරිත්‍යාග කරනු ලැබූ රුපියල් කෝටියක වන්දි මුදල ද පවුලේ සාමාජිකයන් ප්‍රතික්ෂේප කර ඇතැයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
බෝග වර්ග 23කට සහතික මිලක් නියම කරන ලෙසත්, ගොවි ණය කපා හරින ලෙසත්, වසර 2021දී ගොවි විරෝධතාවේ නිරතවූවන්ට එරෙහිව ගොනු කළ නඩු ඉවත් කරගන්නා ලෙසත් ඉල්ලා එරට ප්‍රාන්ත කිහිපයක සිට නවදිල්ලි නුවර දක්වා ආරම්භ කළ ‘දිල්ලි චලෝ‘ (දිල්ලි යමු) නමැති ඉන්දීය ගොවි විරෝධතා පා ගමන අඛණ්ඩව පැවැත්වීමට ද ගොවි සංගම් නායකයන් තීරණය කර ඇතැයි වාර්තා වේ.






