Home Local News Room : ජනතාවාදී පාලනයක් ගොඩනැගීමට රටේම තරුණ ප්‍රජාව අත්වැල් බැඳ ගත...

News Room : ජනතාවාදී පාලනයක් ගොඩනැගීමට රටේම තරුණ ප්‍රජාව අත්වැල් බැඳ ගත යුතුයි – SYU – Lanka Truth | සිංහල

6
0

මේ වනවිට රට ඇද දමා තිබෙන ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ඒම දෙමළ, මුස්ලිම්, සිංහල බේදයකින් හෝ ප්‍රාදේශීය බේදයකින් තොරව එකා මෙන් එකට එකතු වී දැක්මක් සහිතව ක්‍රියාකාරී වීමෙන් පමණක් කළ හැකි බව සමාජවාදී තරුණ සංගමය යාපනයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කරයි.

එම සංගමය ඊයේ (20) යාපනය ජනතා විමුක්ති පෙරමුණේ දිස්ත්‍රික් කාර්යාලයේදී එම මාධ්‍ය හමුව පැවැත්වීය.

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, තරුණ ලේඛක සදීෂ් සේලවරාජ් සහ යාපනය නල්ලූර් කොට්ඨාසයේ සංවිධායක කරුනානන්ද ඉලන් කුමාරන් එම මාධ්‍ය හමුවට සහභාගී වූහ. එහිදී ඔවුන් පලකළ අදහස් පහත දැක්වේ.

“ගෝටාබය රාජපක්ෂ ජාතිවාදීව කටයුතු කර විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන බලයට පත් වි වංචනික ලෙස දූෂිත ලෙස තර වූ ජාවාරම් කරුවන් සහ ඩීල් ආරක්ෂා කරන ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම නිසා මෙරට ආර්ථිකය වේගයෙන් බිඳවැටුනා. ඔහුගේ ප්‍රචාරවලින් රැවටීමට ලක් වූ බව මේ රටේ තරුණ ප්‍රජාවත් සමස්ත මහජනතාවත් ඉතා ඉක්මහනින් තේරුම් ගත්තා. ඒ අනුව සියලුදෙනා ඒකරාශී වී ගෝටාබය රාජපක්ෂගේ ෆැසිස්ට්වාදී පාලනය පලවාහැරීමට කටයුතු කළා.

රාජපක්ෂ කණ්ඩායම එකතු වී ඔවුන්ගේ ආරක්ෂකයා වශයෙන් රනිල් රාජපක්ෂ බලයට පත් කළා. ඔහු රාජපක්ෂ කඳවුර ආරක්ෂා කිරීම මිස රට ගොඩනැගීමට හෝ ජනතා ඉල්ලීම්වලට කන් දී කිසිම ක්‍රියාමාර්ගයක් අනුගමණය කරන්නේ නැහැ. වචනිකයන් සහ දූෂිතයන්ට දඬුවම් පමුණුවා කොල්ල කෑ මහජන දේපල නැවත අත්පත්කරගැනීම අරගලයේ මූලික ඉල්ලීමක් වී තිබුණා. එහෙත් වර්තමනා රනිල් රාජපක්ෂ පාලනය වංචණිකයන් දූෂිතයන් තවදුරටත් රජ කරවමින් සිටිනවා. මේ දූෂිත චවුර කල්ලිය අතුගාදමා මහජන හිතෛශී පාලනයක් බිහිකිරීම වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය දැඩි කැපවීමකින් කටයුතු කරනවා.

රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ 2023 වසරේ අයවැය අනුව රජයේ මුළු අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 3,456යි. නමුත් ණය වාරික සහ පොලිය ගේවීමට පමණක් රුපියල් බිලියන 4,218ක් වැයවෙනවා. 2023 වසරේ අපේක්ෂා කරන ණය ගැනීම රුපියල් බිලියන 5000ක් ඉක්මවලා. රජයේ මුළු වියදමෙන් 53.53%ක් ණය වාරික සහ පොලී ගෙවීමට වැය වනවා. රජයේ ආදායම් ලබා ගැනීම වෙනුවෙන් වක්‍රබදු විශාල වශයෙන් ඉහළ දැමීම හැර නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට කිසිදු ක්‍රියාමාර්ගයක් රනිල් වික්‍රමසිංහ අනුගමණය කරන්නේ නැහැ. මේ නිසා රටේ සමස්ත ජනතාවත් විශේෂයෙන් තරුණ ප්‍රජාවත් දැඩි ආර්ථික සහ මානසික පීඩනයකට ලක් වී සිටිනවා.

ජනතාවට අනාගතය ගැන තිබෙන්නේ බයක්. පවුල තුළ සතුට ගෙනදෙන කිසිම අදහසක් ඇතිවන්නේ නැහැ. මේ තත්වය ඉක්මනින් අවසන් කිරීමට තරුණ සංගමය ක්‍රියාකරණවා. අද උතුරේ තරුණයන් සහ මුළු රටේම තරුණයන් වෙනුවෙන් අපේක්ෂා තබාගත හැක්කේ සමාජවාදී තරුණ සංගමය කෙරෙහි ඒකරාෂී වීමෙන් පමණයි. අධ්‍යාපනය විශාල කඩාවැටීමකට ලක් වී මුදල් මත පමණක් ලබා ගත හැකි තත්වයකට පත්ව තිබෙනවා. ශ්‍රී ලාංකික අධ්‍යාපනයේ සංඛේතයක් ලෙස යාපනයේ ඉතා දියුණු අධ්‍යාපන මට්ටමක් තිබුණු බව ලෝක මට්ටමින් පවා පිළිගෙන තිබුණා. අද එය මුළුමනින්ම බිඳ වැටෙමින් තරුණ ජනතාවගේ සංස්කෘතිය අන්ත ප්‍රපාතයට වැටී මත්ද්‍රව්‍ය වේගයෙන් ව්‍යාප්ත වෙනවා.

දිළිඳු බවේ රේකාවට පහළින් අංක එකට මුලතිව් සහ අංක දෙකට කිලිනොච්චිය දිස්ත්‍රික්ක පත්ව තිබෙනවා. ගොවියන්ට තම වගා කටයුතු වෙනුවෙන් පොහොර සහ අනිකුත් යෙදවුම් නැහැ. ධීවරයන්ට ඉන්ධන මිල දරාගන්න බැරි අතරේ ඉන්දීය ධීවර ආක්‍රමණයට මුහුණදීමට සිදු වී තිබෙනවා. අපේ සාගර සම්පත් විදේශ සමාගම්වලට පාවාදී සුලන් බලාගාර අදානිටත් මුහුදු කූඬැල්ලන් ව්‍යාපෘතිය චීනයටත් පාවා දී තිබෙනවා. මේ සියලු තත්වයන් වෙනස් කරමින් ජනතාවාදී පාලනයක් ගොඩනැගීමට මුළු රටේම තරුණ ප්‍රජාව අත්වැල් බැඳගන්නා ලෙස සමාජවාදී තරුණ සංගමය සහෝදරාත්මකව ඉල්ලා සිටිනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here