Home Local News Room : වල් අලි ප්‍රහාරයෙන් වල්මත්වූ ගම්මුන්ට මැදිවූ සැරයන් මරුට

News Room : වල් අලි ප්‍රහාරයෙන් වල්මත්වූ ගම්මුන්ට මැදිවූ සැරයන් මරුට

1
0

වන අලියකු කළ පහරදීමක් නිසා කුපිත වූ ගම්වැසියන් පිරිසක් කැබිතිගොල්ලෑව නගරයේ කළ විරෝධතාවක් පාලනය කිරීමට ගිය කැබිතිගොල්ලෑව පොලිසියේ නිලධාරීන් පිරිසකට ගම්වැසියන් කළ පහරදීමකින් පොලිස් සැරයන්වරයකු මියගොස් ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. වන අලියාගේ පහරදීම නිසා මියගිය ගම්වැසියකුගේ සිරුර ලබාගැනීමට පොලිසිය ගත් උත්සාහයේදී කුපිත වූ එම පිරිස් පොලිස් සැරයන්වරයාගේ  ගිනිඅවියද උදුණ ඔහුට පහරදී ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරයා අහසට වෙඩි තබා ඇති බවද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව ශ්‍රී  බෝධි රුක්ඛාරාමයේ ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු 15 දෙනකු කැබිතිගොල්ලෑව පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධියෙන් මියගිය පොලිස් සැරයන් ඒ.පී. සුනිල් මහතා (12601) වාරියපොළ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි දෙදරු පියෙකි. පොලිස් මූලස්ථානය පවසන අන්දමට සිද්ධිය මෙසේය.

ඉකුත් ඔක්තෝබර් මස 31 වැනිදා රාත්‍රියේදී කැබිතිගොල්ලෑව පොලිස් වසමේ රඹකැපුවැව ප්‍රදේශයේ පුද්ගලයකුට වන අලියකු පහරදීමක් සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලිසියට ලද තොරතුරක් අනුව කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු සිවු දෙනකුගෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් රඹකැපුවැව ප්‍රදේශයට පිටව ගොස් ඇත.

ඒ සිද්ධිය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහාය. ඒ මොහොතේ එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 150ක පමණ පිරිසක් එම ස්ථානයට රැස්ව කැබිතිගොල්ලෑව පදවිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ටයර් පුලුස්සමින් මාර්ගයේ ගමන් ගන්නා වාහන සහ පුද්ගලයන්ට කෑ කෝ ගසමින් ආවේගකාරීව හැසිරී ඇත.

එවිට පොලිස් ස්ථානාධිපතිවරයා ඔවුන් සමඟ සාකච්ඡා කරමින් වන අලි පහරින් මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය ලබාගැනීමට දැඩි උත්සාහයක් ගෙන ඇතත් විරෝධතාකරුවන් ඊට ඉඩදී නැත.

මේ අතර කුපිත වූ පිරිස් පොලිස් නිලධාරීන්  සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති අතර ප්‍රකෝපකාරීව හැසුරුණු එම පිරිසෙන් කොටසක් පොලිස් නිලධාරීන් ඉදිරියට පැමිණ පරුෂ වචනයෙන් බැන වදිමින් කෑ කෝ ගසමින් එක්වරම ස්ථානාධිපතිවරයා වෙත පහරදීමක් කර ඇත. තවත් පිරිසක් නිලධාරීන් අතර සිටි සැරයන්වරයා වටකොට ගෙන පහරදී ඔහු අත තිබූ ගිනිඅවිය උදුරා ගැනීමට උත්සාහ දරා ඇත.

ඒ මොහොතේ ස්ථානාධිපතිවරයා වහා ක්‍රියාත්මක වී සැරයන් භාරයේ තිබූ ගිනිඅවිය ඔහු භාරයට ගෙන තිබේ.

පිරිස පලවා හැරීම සඳහා පොලිසිය ප්‍රකෝපකාරී පිරිසට අවවාද කළද ඒ අවවාද කිසිවක් නොතැකූ පිරිස් කලහකාරී ලෙස හැසිරෙන්නට පටන්ගෙන ඇත.

මේ අවස්ථාවේ තත්ත්වය පාලනය කිරීම සඳහා අහසට වෙඩි තැබීමක්ද කර තිබේ.

එයින් කිපුණු පුද්ගලයන් කිහිපදෙනකු පොලිස් සැරයන්වරයාට දැඩි ලෙස පහර දීමත් සමඟ සැරයන්වරයා බිම ඇද වැටී තිබේ.

ඒ මොහොතේ යළි ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් ඉහළ නිලධාරීන්ට තත්ත්වය දැනුම් දීමත් සමඟ කැරලි මර්දන ඒකකද එම ස්ථානයට පැමිණ පිරිස පලවා හැරීමට කටයුතු කර ඇති අතර තුවාල ලත් සැරයන්වරයා ප්‍රතිකාර සඳහා වහා කැබිතිගොල්ලෑව රෝහලට රැගෙන ගොස් ඇත.

කෙසේ වෙතත් සැරයන්වරයාගේ තත්ත්වය බරපතළ බව දත් වෛද්‍යවරු ඔහු ගිලන් රථයකින් අනුරාධපුර රෝහලට පිටත් කර යවා ඇත.

මඟදී සැරයන්වරයාගේ තත්ත්වය දරුණු අතට හැරීමත් සමඟ ඔහු මැදවච්චිය රෝහල වෙත රැගෙන ගියද රෝහලට ඇතුළත් කිරීමත් සමඟ ඔහු ජීවිතක්ෂයට පත්වී ඇත.

පොලිස් නිලධාරීන් සමඟ එක් වූ කැරලි මර්දන ඒකකය මාර්ගය අවහිර කරමින් අයුතු ජනරාශියකට එකතු වී සිටි පිරිස විසුරුවා හරිමින් තත්ත්වය පාලනය කිරීමෙන් පසු වන අලියකුගේ පහරදීමෙන් මියගිය පුද්ගලයාගේ සිරුර සෙවීමට මෙහෙයුමක් ආරම්භ කර ඇත.

ඔහුගේ සිරුර වෙල්යායක තිබී සොයා ගැනීමට නිලධාරීන්ට හැකි වී තිබේ. ඔහු 48 වියේ පසු වූ රඹකැපුවැව පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹූ පොලිසිය පොලිස් සැරයන්වරයා ඝාතනය කිරීම සහ අයුතු ජනාරාශියක සාමාජිකයන් වීම මත ශ්‍රී  බෝධිරුක්ඛාරාමයේ විහාරස්ථානයේ වැඩවාසය කළ වයස අවුරුදු 29ක් වන හිමිනමක ඇතුළු අවුරුදු 20, 37, 30 වයස්වල පසුවන රඹකැපුවැව ප්‍රදේශයේ පදිංචි සැකකරුවෝ 15ක් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානාධිපතිවරයා පවසන්නේ කැබිතිගොල්ලෑව පොලිසිය රඹකැපුවැව ගම්මානයේ පිරිස සමඟ දැඩි සුහදතාවකින් කටයුතු කළ බවය.

අත්අඩංගුවට ගත් ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරන විහාරස්ථානයේ දහම්පාසලක් පවත්වා නොතිබූ බවත් දහම් පාසලක් අලුතෙන් ආරම්භ කිරීම සඳහා මේස පුටු ලබාදීමට දායකත්වය ලබාදීමට කැබිතිගොල්ලෑව පොලිසිය කටයුතු කළ බවත් ප්‍රදේශයේ දුප්පත් ජනතාව වෙනුවෙන් වියළි සලාක මලු 100ක් පමණ බෙදා දීමටද පොලිසිය කටයුතු කළ බවද ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම ඊට පෙරද ප්‍රදේශයේ පදිංචි අන්ධ පවුලක් වෙත නිවෙසක් ලබාදීමටද කැබිතිගොල්ලෑව පොලිසිය මැදිහත්ව කටයුතු කර ඇති බවද ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

එම අන්ධ පවුලේ සාමාජිකයන්ට බීමට සහ දියනෑමට අවශ්‍ය විටදී ඔවුන්ට ජලය ලබාදීමටද පොලිසිය කටයුතු කර ඇති බවත් පොලිස් ස්ථානාධිපතිවරයා පැවැසූ අතර විහාරස්ථානය සඳහා වතුර පෙරනයක් සවිකිරීමට පොලිසිය පියවර ගත් බවද හෙතෙම සඳහන් කළේය.

රඹකැපුවැව ගම්මානය සමඟ පොලිසිය ඉතාමත් සමීපව කටයුතු කරද්දීත් එම ප්‍රදේශයේ ජනතාව විසින් රාජකාරි කරමින් සිටියදී සැරයන්වරයකුට පහරදීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් බවද පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

වන අලි විටින් විට ගම්මානයට පැමිණෙන සෑම අවස්ථාවකදී ලැබෙන සෑම තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය මැදිහත් වී කටයුතු කරන බව කී ස්ථානාධිපතිවරයා මෙම වනඅලි පහරදීම සම්බන්ධයෙන් 119 අංකයට හෝ පොලිසියට තොරතුරක් නොලැබුණු බවත් තොරතුරු දැනගත් වහාම පොලිසිය ඊට අදාළ කටයුතු කළ බවද හෙතෙම කීවේය.

අනුරාධපුර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේරත්න ඇතුළු කණ්ඩායමක් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත විමර්ශන කරති.  

කීර්ති මෙන්ඩිස්, අනුරාධපුර _ පර්සි කුරුනේරු,

මැදවච්චිය _ ගයාන්, මුලතිව් –

ශෂි කුමාර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here