Home Local News Room : “මැතිවරණ කල් දාලා ජනතා පරමාධිපත්‍ය අහිමි කරන්න ඉඩ දෙන්නේ...

News Room : “මැතිවරණ කල් දාලා ජනතා පරමාධිපත්‍ය අහිමි කරන්න ඉඩ දෙන්නේ නෑ” – මැතිවරණ කොමසාරිස් ජනරාල්

3
0

ඉදිරියේදී මෙරට ජනතාවට ආසන්නයේ ම ඇති මැතිවරණය පළාත් පාලන මැතිවරණය බව ත් එය පැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු නීතිමය ගැටලුවක් නොමැති බව ත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මේ අවස්ථාවේ මැතිවරණ කල් දැමීමේ අවශ්‍යතාව මත විවිධ සංශෝධන ගෙන එමින් ඡන්දය ප්‍රකාශ කිරීමේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමට ඇති අවස්ථාව ජනතාවට අහිමි කරන්නට කවුරුන් හෝ උත්සහ කරන්නේ නම් මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් පෙනී සිටින බව ද ඒ මහතා කීය.

යෝජිත පාර්ලිමේන්තු තේරීම්කාරක සභා යෝජනා විධිමත්ව ක්‍රියාවට නැගීම සඳහා නිර්මිත මැතිවරණ කොමිෂන් සභා ක්‍රියාමාර්ග ජනගත කිරීමේ සංවාද මාලාවේ මහනුවර දිස්ත්‍රික් වැඩසටහන අමතමින් රත්නායක මහතා මේ බව පැවසුවේ ය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (නොවැ. 1) පැවති වැඩසටහනේදී වැඩිදුරටත් අදහස් දක්වමින්, 2017 පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී සීමා නිර්ණය ගෙනා බව ත් මෙම ගැටලුව නිසා එම මැතිවරණය මේ වනතෙක්ම පැවැත්වීමට නොහැකි වී තිබෙන බව ත් හෙතෙම අවධාරණය කළේ ය.

පළාත් පාලන මැතිවරණය ආසන්න වෙත්දී දැන් සභික සංඛ්‍යාව සම්බන්ධ ප්‍රශ්නයක් කරළියට පැමිණ තිබෙන බව ත් මෙය භාවිත කර මැතිවරණය කල්දැමීමේ උත්සහයක් තිබේ ද යන්න සම්බන්ධව අවධානයෙන් පසුවිය යුතුව තිබෙන බව ත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව අඩු කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති නමුත් එම ප්‍රශ්නය මුල් කරගෙන මැතිවරණය කල්දැමීමේ උත්සහයක් පවතින්නේ නම් ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් කොමිෂන් සභාව ඊට මැදිහත් වන බවත් කොමසාරිස් ජනරාල්වරයා කීවේ ය.

යම් ආකාරයකින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ උත්සහයක් පැවැතියහොත් සිදුවන්නේ කුමක් ද යන්න සම්බන්ධව ජනතාව අවබෝධයෙන් සිටිය යුතු බව ත් ඒ මහතා පැවැසුවේය.

සීමා නිර්ණය කොමිෂන් සභාව 2017දී ගෙන එනු ලැබුවේ පළාත් සභා මැතිවරණය කල්දැමීම අරමුණු කරගනිමින් වුවත් මාස හතරක් වැනි කෙටි කාලයකදී අදාළ වැඩපිළිවෙළ නිම කළ බැවින් අවසානයේ විෂය භාර ඇමතිවරයාට ම ඊට විරුද්ධ වීමට සිදුවූ බවත් සීමා නිර්ණය වැනි තාක්ෂණික කාරණයක් පාර්ලිමේන්තුව තුළදී දේශපාලනික කාරණයක් බවට පත්වීම ගැටලුවක් බව ත් හෙතෙම පවසා සිටියේ ය.

මෙම අවස්ථාවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා ද සහභාගි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here