“අධික වේගයෙන් ධාවනය වූ” පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වු අනතුරකින් එම බස් රථ දෙකේ ගමන් ගත් දස දෙනෙකු තුවාල ලබා තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ, තුවාල ලැබූ පිරිස නාවලපිටිය දිස්ත්රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසූ බව ය.
අද (නොවැ. 2) උදෑසන 7.30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ, හැටන් – මහනුවර ප්රධාන මාර්ගයේ නාවලපිටිය මිපිටිය ප්රදේශයේදී ය.
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙසේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.
තුවාල ලැබූවන් අතර පෞද්ගලික බස් රථයක රියැදුරා සිටින බව අප වාර්තාකරු පැවසීය.
එම මාර්ගයේ අනතුරු බහුල වශයෙන් සිදු වන වංගුවක් අසල මෙම අනතුර සිදු වී ඇති අතර බස් රථ දෙක ම අධික වේගයෙන් ධාවනය කර ඇති බව අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය සඳහන් කර ඇත.
නාවලපිටිය පොලිසිය වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, එම බස් රථවල රාජ්ය සහ පෞද්ගලික ආයතනවල සේවය කරන සේවක සේවිකාවන් පිරිසක් ද සිට ඇති බව ය.














