බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ ඒකාබද්ධව අද (නොවැ. 2) පැවැත්වීමට නියමිත විරෝධතාව අත්හැර දමන්නැයි ඉල්ලමින් මෙරට වාණිජ මණ්ඩල හයක් නිවේදනයක් නිකුත් කර ඇත.
භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට ඇති අවකාශය අවබෝධ කරගන්නා අතරේ ම තමන් මෙම ඉල්ලීම කරන්නේ මේ අවස්ථාවේ සිදුවන ඕනෑ ම අස්ථාවර ක්‍රියාවක් සහ ඉන් පැනනගින ඍණාත්මක ප්‍රචාරයක් මෙරට ආර්ථිකයේ පුනර්ජීවන ක්‍රියාමාර්ග බරපතළ ලෙස අඩාල කරනු ඇති බැවින් යැයි එම සංවිධාන පවසයි.
ගුවන් සේවා කිහිපයක් නැවතත් ශ්‍රී ලංකාවට සිය සේවා ආරම්භ කිරීමත් සමග පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් කඩාවැටුණු සංචාරක කර්මාන්තයට නැවත හිස එසැවීමට අනගි අවස්ථාවක් ලැබී ඇතැයි ද කිසියම් හෝ අස්ථාවරභාවයක් අපනයන කර්මාන්තවලට හා විදේශ ආයෝජනවලට නිසැකව ම බලපානු ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
රටේ ජනයාගේ ජීවන තත්ත්වය හා ආර්ථිකය නරක අතට හරවන ක්‍රියාකාරකම් වෙනුවට ජාතියක් ලෙස නැවත නැගී සිටීමට අවශ්‍ය ධනාත්මක ප්‍රතිසංස්කරණ සඳහා සිය ශක්තිය යොදන්නැයි සියලු කණ්ඩායම්වලින් තමන් ඉල්ලා සිටින්නේ යැයිද එම සංවිධාන වැඩිදුරටත් සිය නිවේදනයේ සඳහන් කර ඇත.
ලංකා වාණිජ මණ්ඩලය, තරුණ ලංකා ව්‍යවසායකයන්ගේ මණ්ඩලය, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය, ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය ශ්‍රී ලංකා, ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය හා කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය යන වාණිජ මණ්ඩල විසින් මෙම නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.






