දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, ශිෂ්‍ය සංගම් සහ සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව අද (නොවැ. 2) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාව කොළඹ දුම්රිය පොළ ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ පැවැත්වීමට අවසර ලබා නොදෙන බවට පොලිසිය විසින් දැනුම් දීමක් සිදු කරනු ලැබ තිබේ.
කොළඹ මධ්‍යම II දිසාව භාර සහකාර පොලිස් අධිකාරි කේ.ඊ.එන්. දිල්රුක් මහතාගේ අත්සනින් යුතුව ඊට අදාළ ලිපියක් විරෝධතාව සංවිධානය කරන පාර්ශව වෙත යොමු කර ඇත.
යෝජිත විරෝධතා රැලිය සහ පෙළපාලිය පැවැත්වෙන කාල සීමාව කොටුව ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් ගැවසෙන කාල සීමාවක් වන අතර විරෝධතාව හේතුවෙන් කොටුව සහ පිටකොටුව ප්‍රදේශවල තොග වෙළෙඳාම් කටයුතුවලට ද බාධා එල්ල විය හැකි බව අදාළ ලිපියේ සඳහන් කර තිබේ.
එමෙන් ම, පොලිස් ආඥා පනතේ 80 වගන්තිය අනුව ශබ්ද විකාශන යන්ත්‍රයක් හෝ යන්ත්‍රානුසාරයෙන් ශබ්දය නිපදවන උපකරණ භාවිත කිරීමට සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ අවසරය ලබාගත යුතු අතර එම විරෝධතාවයේදී එවැනි අවසරයක් ලබා ගැනීමට කටයුතු කර නොමැති බව ලිපියෙන් පෙන්වා දී ඇත.
විරෝධතා රැලිය සහ පෙළපාලිය හේතුවෙන් මාර්ග අවහිර කිරීම් හෝ බාධා සිදුවුවහොත් එම පීඩා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සිදුවන අතර පොලිස් ආඥා පනතේ සහ වෙනත් පවතින නීති යටතේ සහභාගි වන පුද්ගලයින්ට නෛතික ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද සහකාර පොලිස් අධිකාරීවරයා නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් mawbima.lk කළ විමසීමකදී සහකාර පොලිස් අධිකාරි කේ.ඊ.එන්. දිල්රුක් මහතා සඳහන් කළේ මරදාන, ටෙක්නිකල් හන්දිය ආසන්නය දක්වා පමණක් අදාළ විරෝධතාවට පැමිණීමට අවසර ලබා දී ඇති බව ය.









