හික්කඩුව තිරාණගම ප්‍රදේශයේදී ඊයේ (31දා) උදෑසන පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි ගාල්ල ජේයෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ හික්කඩුව කලුපෙ පදිංචි කපුවා හන්දි සුසන්ත මෙන්ඩිස් (48) සහ හෙන්ද හේවගේ ඉසුරු ප්‍රසන්න (27) යන දෙදෙනෙකි.
මෙම ද්විත්ව ඝාතනය මීට වසරකට පෙර සිදු වූ කටා රොෂාන් නමැත්තාගේ ඝාතනයට එකට එක කිරීමක් බව මේ වන විට විමර්ශනවලින් හෙළි වී ඇත.
කටා රොෂාන් ඝාතනය කිරීමේ පළිය ගැනීම සඳහා රොෂාන්ගේ පාර්ශ්වය විසින් ඊයේ සිදුකරන ලද වෙඩි ප්‍රහාරය සැලසුම් කර ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
සමයං ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන කලුපේ කටා රොෂාන් නමැත්තා ඉකුත් 2021 වසරේ දෙසැම්බර් මස 20 වැනි දින හික්කඩුව නලාගස්දෙණිය කන්නන්ගරවත්ත ප්‍රදේශයේදී පිරිසක් විසින් කපා කොටා ඝාතනය කර තිබිණි.
මීට පළිගැනීමක් ලෙස ඊයේ සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබිණි.
මොවුන් කටා රොෂාන් ඝාතනය සම්බන්ධයෙන් ගාල්ල මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට පෙනී සිටීම සඳහා පල්සර් වර්ගයේ යතුරුපැදියකින් අධිකරණය වෙත යමින් සිටියදී ඊට පිටුපසින් තවත් යතුරුපැදියක පැමිණි තුවක්කුකරුවෝ ඉදිරිපස යතුරුපැදියේ යන මොවුන් දෙදෙනා ඉලක්ක කොට වෙඩි තබා තිබිණි.
වෙඩි ප්‍රහාරයෙන් බයිසිකලය පෙරළීයෑමෙන් ඔවුන් දෙදෙනාම ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේම ඇද වැටිණි.
තිරාණගම පිහිටි සංචාරක හෝටලයක් අසල සිදු වූ මෙම වෙඩි තැබීමෙන් පසු ඒ අවට පිරිස් තුවාලකරුවන් ගාල්ල කරාපිටිය රෝහල වෙත රැගෙන ගියද ඔවුන් ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව තිබිණි.
මිය ගිය දෙදෙනා පාතාල කල්ලි සාමාජිකයකු වන මිය ගිය කටා රොෂාන් ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් බව හික්කඩුව පොලිසිය කියයි.
වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ ටී පනස්හය ගිනි අවියකිනි.
දෙපාර්ශ්වයක් අතර කලක් තිස්සේ හික්කඩුව කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ මිනිස් ඝාතන රැල්ල මේ වන විටත් ඉහළ ගොස් තිබේ.
මේ අතර පසුගිය කාලය පුරා සිදු කළ වෙඩි තැබීම් 32කින් පුද්ගලයන් 37 දෙනකු මේ වන විට මිය ගොස් ඇතැයි ජේයෂ්ඨ පොලිස් අධිකාරි මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතාද කියයි.
දකුණේ පවතින සංවිධානාත්මක ඝාතන නතර කරලීම සඳහා මාතර අපරාධ කොට්ඨාසය නමින් ඒකකයක් ඉකුත් දිනයක ස්ථාපිත වූවාක් මෙන් ගාල්ල කොට්ඨාසයේ අපරාධ මැඬලීම සඳහා ගාල්ලටද අපරාධ කොට්ඨාසයක් ලබාදීමට කටයුතු කරන බව ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කරයි.
කීර්ති මෙන්ඩිස්, ගාල්ල – ෆර්හාන් නිසාම්දින්, අහංගම – එස්. දීයගහගේ, ගාල්ල – කමල් විජේහේවා, බළපිටිය – දම්සරී ලියනගේ, අම්බලන්ගොඩ – ධර්මදාස සිරිවර්ධන
The post හික්කඩුවේ මරා ගැනිල්ල නොනවතී appeared first on මව්බිම.






