රටේ කුඩා පරිමාණ ව්‍යාපාර කරන අහිංසක ජනතාවට තම ව්‍යාපාරය ප්‍රශ්නයකින් තොරව කරගෙන යෑමට අවශ්‍ය කරන වාතාවරණය සෑදීමට ආණ්ඩුව හා පාලකයන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර පවසයි. ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ (31දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
“එහිදී ජගත් කුමාර මන්ත්‍රිවරයා මෙසේද කීවේය. “පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කළා පාර අයිනේ අහිංසක විදිහට බඩ ඉරිඟු කරලක් තම්බලා විකුණ ගන්න, ඒ වගේම එළවළු රොටියක් විකුණන, වඩේ එකක් විකුණන, තැඹිලි ගෙඩියක් විකුණන මිනිස්සුන්ටත් මාර්ග සංවර්ධන අධිකාරියෙන් ව්‍යාපාර ලියාපදිංචි කරන්න කියලා ලියුමක් එවලා. අමතරව ස්ථාවර තැන්පතුවක් තියන්න කියලත් තියෙනවා කියලා මම දැක්කා.
ඒ නිසා ඒ ජනතාව විශාල දුක් ගැනවිල්ලක් කියනවා. මේක අපි අමාරුවෙන් කරගෙන යන්නේ කියලා. ඉතින් මේක දැක්කම මගේ ඇගේත් ලේ උණු වුණා. ඇත්තටම මේ අහිංසක මිනිස්සුන්ගේ රීරිමාංස හූරා කාලා ආණ්ඩුවක් හරි රටක් හරි ඉදිරියට යන්න බෑ. අපි කවුරුත් දන්නවා අද රටේ විශාල ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. රට විශාල වශයෙන් වැටිලා. ජීවත් වෙන්න මිනිස්සුන්ට අමාරුයි. එවැනි වටපිටාවක පාරක් අයිනේ එදිනෙදා මොනවා හරි තම්බලා විකුණලා කරගෙන යන දේ බොහොම අසීරුවෙන් කරගෙන යන්නේ. ඒකට උදවු කිරීම තමයි කළ යුත්තේ.
බෙල්ල හිර වෙලා තියෙන මිනිහගේ බෙල්ලට තොණ්ඩුවක් දාලා තවත් ඒ මනුස්සයා මරන තැනට පත් කරනවා නම් මම හිතන්නේ එය ආණ්ඩුවේ යුතුකම් වගකීම් වෙන්නේ නෑ. මම මේ සම්බන්ධයෙන් ඊයේ මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්තුමාට කතා කර ඒ ගැන හොයලා බලන්න කිව්වා. කොහොම වුණත් මෙහෙම කරනවා නම් ඒක මහා අපරාධයක්.
මම විශේෂයෙන් ජනාධිපතිවරයා සහ විෂයභාර ඇමැතිතුවරයාටත් උදේ ගත්තා. නමුත් ටෙලිෆෝන් එක වැඩ කළේ නෑ. ඒ නිසා මම විශේෂයෙන්ම රජයෙන් ඉල්ලනවා කරුණාකරලා මේ බදු ගහන එකේ යම් ක්‍රමානුකූල වැඩපිළිවෙළක් හදාගන්න ඕන. එහෙම නැතුව මේ IMF එක කියන නිසා හරි වෙන කවුරු හරි කියන නිසා හරි බදුපිට බදු ගහලා අහිංසක කබලේ හිටපු මිනිහා ළිපට වැටෙන තත්ත්වෙකට පත් කරන එක වැරදියි. එහෙම වැඩ කරලා ඊගාවට ආණ්ඩුවට සහයෝගය දුන්නම ඒක අපටත් මහා සහගහන අපරාධයක්. ඒ නිසා මම විශේෂයෙන්ම රජයෙන් ඉල්ලනවා මේ ක්‍රියාවලිය නවත්තන්න කියන කාරණාව.
මොකද ගම් ඇතුළට යනකොට අෑත දුෂ්කර පළාත්වලට යනකොට සමහරු දිවුල් ගෙඩි ටිකක් විකුණනවා, පේරගෙඩි ටිකක් තියාගෙන ඉන්නවා. එහෙම නැත්නම් තැඹිලි වල්ලක් තියාගෙන ඉන්නවා. මේ අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු. පාර අයිනේ මිනිස්සුන්ට මීටර් ගාණක් ඇතුළට ගන්න කියනවලු. අනිත් පැත්තෙන් ඒවා ලියාපදිංචි කරන්න කියනවලු. රු. 2000ක් ගන්න ගමන් මාසෙකට අනිත් පැත්තෙන් ඒ අයගෙන් උත්සාහ ගන්නවලු රු. 10,000ක ඩිපොසිට් එකක් ගන්න. මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ සල්ලි නැතුවද? නාස්තිය දූෂණය නවත්ත ගත්ත නම් මේ අහිසංක මිනිස්සුන්ගෙන් බදු ගන්න ඕනේ නෑ.
හතරගාතේ දාලා වැටිච්ච වේලේ මේ කරන්න යන දේ පිළිබඳව අපේ බලවත් විරෝධය හා කනගාටුව ප්‍රකාශ කරනවා. එසේම වහාම මේක වෙනස් කරන්න කියලා රජයෙන් ඉල්ලනවා. මම එළියේ කියනවා වගේම මම ඇතුළෙත් මේ ගැන කතා කරනවා. සමහර විට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේක දන්නේ නැතුව ඇති. යම් කිසි නිලධාරීන් කණ්ඩායමක් නම් වහාම අපි නිලධාරීන්ට කියනවා ඒ දේ කරන්න ලෑස්ති වෙන්න එපා. ඒ වගේම ජනතාවටත් කියනවා කලබල වෙන්න එපා. වෙන විවිධ බලවේග උත්සාහ ගන්නවා මේකෙන් වාසි ගන්න. ඒ දේවල්වලට හසු නොවී ඔබ අවබෝධයෙන් ඉන්න.
මම දැක්කා සමහර අය කියලා තියෙනවා ඊගාව අයවැයෙන් මේ ආණ්ඩුව ඇතුළෙම අය ගේමක් ගහලා ආණ්ඩුව පරද්දන්න ලෑස්ති කියලා. මම නම් දැනුවත්ව එහෙම දෙයක් නෑ. අපි දන්නවා රට වැටිලා තියෙන්නේ ආර්ථික වශයෙන්. මිනිස්සුන්ට තුන්වේලම කන්න නෑ. වියදම වැඩිවෙලා. උද්ධමනය වැඩිවෙලා. ලොකු ප්‍රශ්න ගොඩක මිනිස්සු ඉන්නේ. ඉතින් මිනිස්සුන්ට ඕනේ හෙට ඡන්දයක් තියෙන එකවත්, එක එක්කෙනාගේ පක්‍ෂ සංවිධානය කරලා ශක්තිමත් කරන එකවත් නොවේ.
ජනතාවට ඕනේ තුන්වේල කාලා එදිනෙදා ප්‍රශ්න ටික විසඳගෙන ඉන්න. හැබැයි මේ අර්බුදයක ඉන්න වෙලාවක ඒ පීඩනයෙන් සමහරු බලය අල්ලන්න උත්සාහ කරනවා. සමහරු ඡන්දෙකට යන්න උත්සාහ කරනවා. තව සමහරු වක්‍ර ආකාරයෙන් කුමන්ත්‍රණකාරීව බලය අල්ලන්න කටයුතු කරනවා. හැබැයි මම හිතනවා බහුතරය ආණ්ඩුවේ ඉන්න අය මේ කුමන්ත්‍රණවලට හසු වෙන එකක් නැහැ. අපි විශ්වාස කරනවා මේ අයවැය හරහා යම් ජනතාවත්, රටත් යහපත් තැනකට ගන්න අවශ්‍ය පියවර ගන්න ඕනේ.
දැන් වෙනකොට සංචාරක කර්මාන්තයෙන් විදේශිකයන් වැඩි පිරිසක් එමින් පවතිනවා. ඒ අතර සමහරු දැන් 2 වැනිදාටත් ලොකු විරෝධයක් කරන්න යනවා කියනවා. හැබැයි රටට හානියක් නොවෙන්න. රටේ එදිනෙදා නිෂ්පාදන කරගන්න බැරිවෙලා රට වියවුල් වුණොත් මේ රටේ ජනතාව තමයි විශාල පීඩාවට පත් වෙන්නේ.
අපි කියනවා දේශපාලන ගේම් ගහන දේශපාලන පක්‍ෂවල නායකයන්ටත්, ඔබට ඔබේ පක්‍ෂවල අනාගතය ගැන හිතන්න ඉස්සෙල්ලා මේ රටේ ජනතාව ජීවත් වෙන විදිහ රටට ඩොලර් ගේන විදිහක් කල්පනා කරලා ඒ මට්ටමෙන් රට හදලා ඊට පස්සේ අපි බෙදිලා දේශපාලනය කරමු. හැබැයි මේ වෙලාවේ මේ අර්බුදයෙන් වාසි ගන්න යනවා නම් ඒක මහා අපරාධයක්. බහුතරය එහෙම උඩ බලාගෙන කෙළගහ ගන්න එකක් නෑ.”
ක්‍රිෂාන් පතිරත් ජයසූරිය






