“සාමකාමී, සාධාරණ විරෝධතාවලට අපි ඇහුම්කන් දෙනවා. හැබැයි ගහලා, මරලා ආණ්ඩු ගන්න දෙන්න බෑ” යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවැසීය.
විරෝධතාකරුවන් ගෙවල් ගිනි තැබීමට, මිනිස්සු මැරීමට පැමිණියහොත් ඒ සඳහා රජය තදින් ක්‍රියාකළ යුතු බවත් මර්දනයට මර්දනයෙන් පිළිතුරු දිය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
කෝට්ටේ, බැද්දගාන තෙත්බිම් උද්‍යානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීමෙන් පසු අමාත්‍යවරයා මේ බව පැවැසුවේ හෙට කොළඹ වැටලීමේ සූදානමක් තිබෙන බවට මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදීය. එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
ප්‍රශ්නය _ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත නැඟිටින්න හදන උත්සාහය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැඩිව විවේචනය කරනවා.
පිළිතුර – ඔහු ඉන්නේ තමන්ගේ පුතා පක්ෂයට ගෙනඒමේ ව්‍යාපෘතියකයි. ඔහුගේ කාලයේදී තමයි රටට වැඩිම ණය මුදල් ගත්තේ. ඒක වහගන්න නොයෙකුත් දේවල් කියනවා. නමුත් අපි උත්සාහ ගන්නේ මේ අභියෝග ජය ගන්නයි.
ප්‍රශ්නය – චෝදනාව එල්ල වෙන්නේ ඔබතුමන්ලා අලියා ශක්තිමත් කරනවා කියලයි?
පිළිතුර – අලියගෙන් පාර්ලිමේන්තුවේ ඉන්නේ එක්කෙනයි. ජනාධිපතිතුමත් පක්ෂය ශක්තිමත් කරන්න උත්සාහ ගන්නේ නැහැ. අනිත් කෙනා විවේචනය කරනවා වෙනුවට අපි දැනගන්න ඕන අපේ පක්ෂය ගොඩ ගන්න.
ප්‍රශ්නය – හෙට (2දා) කොළඹ වැටලීමේ සූදානමක් තියෙනවා.
පිළිතුර – සාමකාමී, සාධාරණ විරෝධතාවලට අපි ඇහුම්කන් දෙනවා. නමුත් ගහලා මරලා ආණ්ඩු ගන්න දෙන්න බෑ.
ප්‍රශ්නය – ඒ කියන්නෙ මර්දනයෙන්ද?
පිළිතුර – මර්දනය මර්දනයෙන් නතර කරන්න ඕන එකයි මම කියන්නේ. ඒ සඳහා අපිත් සූදානමින් ඉන්නවා. මේක රටේ අනාගතය වෙනුවෙන් හැඩගැසෙන්න ඕන වෙලාවක්. මිනිස්සු මැරීම, ගෙවල් ගිනි තැබීම සාධාරණීකරණය කරනවාද? ඒවා සාධාරණය කරන්න පුළුවන්ද? මිනිස්සු මරලා, ගෙවල් ගිනි තියලා ආණ්ඩු පෙරළන්න ඉඩ දෙන්න බෑ.
අනුරාධා හේරත්






