Home Local News Room : ප්‍රතිසංස්කරණය පිට දමා පළාත් පාලන මැතිවරණය කල් දාන්න දෙන්න...

News Room : ප්‍රතිසංස්කරණය පිට දමා පළාත් පාලන මැතිවරණය කල් දාන්න දෙන්න බෑ

1
0

රජය විපක්ෂය සමඟ සකච්ඡා නොකර හොර රහසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පවත්වා බදු පනවන්න උත්සාහ කරන බව  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කළේය. විපක්ෂ නායක කාර්යාලයේ පෙරේදා (30දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේ කීය.

මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

ආණ්ඩුවේ ඇමැතිවරයකු මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණය කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්න කියලා කථානායකවරයාට ලිපියක් යවලා තියෙනවා. මම එතුමාට මතක් කරන්න කැමතියි මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණය කරන්න කමිටුවක් පත් කළේ 2012 එවකට තිබුණු ආණ්ඩුව දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

ඉන්පසු ආණ්ඩුව වෙනස් වුණාම යහපාලන ආණ්ඩුවත් එතුමාට ඒ කටයුත්ත කරගෙන යන්න කිව්වා. ඉන්පසු පොහොට්ටු ආණ්ඩුවත් ඒ දේම කිව්වා. කොටින්ම කියනවා නම් 2012 ඉඳලා අද දක්වා අවුරුදු දහයක් මේ මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණ කමිටුවේ සභාපති හැටියට එතුමා වැඩ කරනවා. ඒ නිසා හොඳටම කල් තිබුණා අවශ්‍ය නීතිරීති ප්‍රතිසංස්කරණය කරන්න.

කමිටුවේ සභාපති වෙන කාලයේ සාමාජිකයෝ දෙදාහයි හිටියේ. එතුමා එය හාරදාහක් කළා. ඉන්පසු යහපාලන ආණ්ඩුව කාලයේ ඒක අටදාහක් කළා. දැන් නැවත මේ ආණ්ඩුව කියනවා ප්‍රමාණය වැඩියි අඩු කරන්න ඕන කියලා. ඒක ගැන අපට තර්කයක් නැහැ. හැබැයි අපි කියන්නේ මැතිවරණ නීතිරීති ප්‍රතිසංස්කරණය උඩ දාල ප්‍රාදේශීය සභා මැතිවරණය කල්දාන්න බැහැ. එය වෙලාවට පවත්වන්න ඕනෑ.

පසුගිය සැප්තැම්බර් 20න් පස්සේ මැතිවරණ කොමිසමට බලය ලැබුණා ඒ කටයුතු ආරම්භ කරන්න. මම කියනවා අවුරුදු දහයක් තිබිලත් අවශ්‍ය නීතිරීති ප්‍රතිසංස්කරණය කෙරුවේ නැහැ. දැන් ප්‍රාදේශීය සභා මැතිවරණ කට ළඟට ඇවිත් රජය කියනවා මේ නීතිරීති, ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් ගණන වැඩියි එය 4,000ට අඩු කරන්න ඕන කියලා. මේ කරන්නේ මැතිවරණ

කල්දාන්න දරන උත්සාහයක් බව හොඳට පැහැදිලියි. අපි රජයට කියනවා මේ වගේ සිල්ලර වැඩ නොකර මැතිවරණයක් තියන්න. මොකද ජනමතයක් රටේ ජනතාව පමණක් නෙවෙයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ඉල්ලනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයා කිව්වා රජය ජනමතයක් විමසුවොත් හොඳයි කියලා. මොකද මේ රජය බලයට ආවේ රාජ්‍ය සම්පත්

ආරක්ෂා කරනවා කියලා. නමුත් අද වෙන්නේ රාජ්‍ය සම්පත් එකින් එක විකුණන්න පිඹුරුපත් හදන එක. අපි රජයට කියනවා මැතිවරණ කල් දාන්න එපා. අවුරුදු පහක් හිටියා හොඳටම ඇති. ඒ වාගේම මැතිවරණ කොමිසමටත් කියනවා අය-වැය තව දින කිහිපයකින් එනවා. එම නිසා ප්‍රාදේශීය සභා මැතිවරණයක් තියන්න අවශ්‍ය මුදල් ඉල්ලන්න.

එසේම මුදල් ඉල්ලා දිස්ත්‍රික් මට්ටමෙන් මැතිවරණ පවත්වන්න අවශ්‍ය නිලධාරීන් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කරන්න. කොමිසමෙත් මන්දගාමී ස්වභාවයක් අපිට පේන්න තියෙනවා.

ඒ වගේම දැන් රජය අලුත් බදු ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ බදු සම්බන්ධව විපක්ෂයත් එක්ක කිසිදු සාකච්ඡාවක් කළේ නැහැ. හොර රහසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක සාකච්ඡා කරලා තමයි මේ බදු පනවන්න උත්සාහ කරන්නේ. අපි රජයෙන් අවස්ථා ගණනාවක් ඉල්ලුවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක තියෙන එකඟතාව ඉදිරිපත් කරන්න කියල. අද වෙන තෙක් එය ඉදිරිපත් කරලා නැහැ. එහෙම කියන අතරමඟ මෙවැනි බදු ක්‍රම හ¾දුන්වා දීලා තියෙනවා. බදු ගහන්න ඕන තමයි. හැබැයි එය බඹරා මලෙන් රොන් ගන්නවා වගේ මල විනාස නොකර.

මේ රජය අපනයනකරුවන් වගේම මධ්‍යම පන්තිය විනාශ කරන්න තමයි අලුත් බදු යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ. විපක්ෂයට බහුතරය වැඩියි. ඒක මතක තියාගන්න. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණේ අපි සහයෝගය දුන්න නිසා. නමුත් අපි විරුද්ධ වුණේ නැහැ. සාකච්ඡා නොකර මේ බදු සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා නම් අපි ඒවට තරයේ විරුද්ධ වෙනවා. ලංකා ඉතිහාසයේ නමුත් කිසිම ආණ්ඩුවක් අපේ රට මේ තත්ත්වයට බංකොලොත් කෙළේ නෑ. අද රුපියල් ඩොලර් දෙකම නැහැ. අපි මේ ආණ්ඩුවට රට භාරදෙන කොට ඇමරිකානු ඩොලර් බිලියන හත්දාස් අටසීයක් විදේශ විනිමයක් තිබුණා. බදු ගහන්න පොහොට්ටුව රට බංකොලොත් කළ නිසා. නැත්නම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ.

අද ආණ්ඩුව පැති කිහිපයකට කැඩිලා. පිරිසක් විපක්ෂයේ වාඩි වෙලා. තවත් කෑලි තුන හතරකට කැඩිලා. මම අවංකවම රජයට කියනවා මේ ආණ්ඩුව expire වෙච්ච ආණ්ඩුවක් බව. යහපාලන ආණ්ඩුව ලොකු සමාගම්වලට විශාල වැට් බද්දක් දාලා තිබුණා. පොහොට්ටුව ආවා විතරයි ඒ බිලියන 800 අහෝසි කළා. එසේ කෙරේ මේ සමාගම් පසුගිය ජනාධිපතිවරණයට ප්‍රකෝටි ගණන් සල්ලි දුන්නා. එක සමාගමක් මිලියන දාහක් දුන්නා. මේ බිලියන 800ක ආදායමක් නැති කර ගන්න කොට අලුතින් පත්වෙච්ච රජයේ කිසිම කෙනෙක් ප්‍රශ්න කෙරුවෙ නැහැ. වියත් අය ඉන්නව කියනවා.

පළමුවැනි අය-වැයෙන් බිලියන  අටසීයක ආදායම් නැති කරගන්න කොට ආණ්ඩුවේ කිසිම කෙනෙක් ප්‍රශ්න කෙරුවේ නැහැ. ඒක හොයාගන්නෙ කොහෙන්ද.? එහෙමයි ආණ්ඩුව කටයුතු කරන්න ඕනෑ. දැන ගැනීම සඳහා මම කියන්නම්, මහා බි්‍රතාන්‍යයේ අග්‍රාමාත්‍යතුමියට යන්න වුණේ ඇයි? එතුමියත් මේ ලොකු සමාගම්වලට ආපු ගමන් බදු සහන දුන්නා. විශාල බදු මුදලක් ආණ්ඩුවට නැති වුණා.

මේ බදු සංශෝධනවලට අපි විරුද්ධයි. මොකද මධ්‍යම පාන්තික ජනතාව අද කබලෙන් ළිපට වැටිලා. ඊටත් වැඩිය වැටෙන්න තැනක් නැහැ. මේ ආණ්ඩුව කල් ඉකුත් වෙලා. ඒකයි එක එක අය විවිධ පැතිවලට සංක්‍රමණය වෙන්න පටන් අරගෙන තියෙන්නේ. අපි කියන්නේ වහාම ජනමතයක් විමසන්න.

නිර්මාණි ගුණරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here