පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පසුගිය දා සම්මත වූ විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (ඔක්. 31) සිය සහතිකය සටහන් කළේ ය.
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2022 අගෝස්තු 10 වන දින අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
අනතුරුව ඊට එරෙහිව පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සංශෝධන සිදුකොට අනුමතිය ලබා ගැනීම සිදු විය.
පසුගිය ඔක්තොබර් 20 සහ 21 යන දෙදින විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියැවීමේ විවාදය පැවැත්විණි.
දෙවන වර කියැවීම අවසානයේ පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 179ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 1ක් ලැබිණි.
ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී සංශෝධන එක්වීමෙන් අනතුරුව පනත් කෙටුම්පත තෙවන වර කියවීම සඳහා පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 174ක් ද විපක්ෂව එක් ඡන්දයක් හිමිවිය.
ඒ අනුව විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විසි එක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස අද (ඔක්. 31) සිට බලාත්මක වේ.






