Home Local News Room : මෙරට-පිටරට සියලු හොර සහතික එකම වහලක් යටින්

News Room : මෙරට-පිටරට සියලු හොර සහතික එකම වහලක් යටින්

5
0

රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු රැසක නිල හා නෙරවුම් මුද්‍රා ව්‍යාජ ලෙස සැකැසූ බොරැල්ලේ පිහිටි මුද්‍රණාගාර දෙකක් වටලා එහි හිමිකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල, ටයිපින් වත්ත ප්‍රදේශයේ පදිංචි 64 සහ 47 වියැති පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කීය. දින කිහිපයක්

ආවේක්‍ෂණ රාජකාරි කිරීමෙන් පසු මුද්‍රණාගාර වටලා එහි තිබූ රජයේ උසස් ආයතනවල නිල මුද්‍රා 60ක්, නෙරවුම් මුද්‍රා 14ක්, පරිගණක යන්ත්‍ර 4ක්, මුද්‍රණ යන්ත්‍ර 5ක්, ස්කෑන් යන්ත්‍රයක්, ව්‍යාජ ලිපි ශීර්ෂ ගණනාවක් ඇතුළු උපකරණ තොගයක් සොයාගත් බව පොලිසිය කීය. කොළඹ, පේරාදෙණිය, වයඹ සහ රුහුණ විශ්වවිද්‍යාල, කොරියානු තානාපති කාර්යාලය, විභාග දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, බැංකු, අධිකරණ සහ ප්‍රසිද්ධ පාසල් ඇතුළු  විවිධ උසස් මූලස්ථාන රාශියක නිල මුද්‍රා සහ ලියකියවිලි සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

කොළඹ ඇතුළු පිට පළාත්වල ජනප්‍රිය පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම, විදෙස් ගතවීමට අවශ්‍ය ලේඛන සකස් කිරීම, බැංකු පාස්පොත් සකස් කිරීම, පදිංචිය සනාථ කිරීමට ග්‍රාම නිලධාරි සහතික, චරිත සහතික, විදුලි බිල් සහ ජල බිල්පත් ඇතුළු ලියකියවිලි සකස් කිරීම එහි කර ඇති බවත් ඒ සඳහා රුපියල් 5000 සිට ඉහළ මිල ගණන් අයකර ඇති බවත් තහවුරුව ඇතැයි වැටලීමට එක්වූ නිලධාරියෙක් කීය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බොරැල්ල පොලිසියට භාරදී තිබේ. වලාන මධ්‍යම දූෂණ මර්දනය ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ යන මහත්රුන්ගේ උපදෙස් පරිදි ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්‍ෂක බණ්ඩාරනායක සහ සැරයන් ජයරත්න (42520), කොස්තාපල්වරුන් වන අශාන් (39850), සම්පත් (74313), පෙරේරා (92891), දිල්මින් (24075), රත්නායක (98261), ලක්සිත (100677), රණසිංහ (100681), කාන්තා සමිතා (13103), සහ පො.කො.රි. මංජුල (89952) ඇතුළු නිලධාරීන් කණ්ඩායම් දෙකක් වැටලීම කර ඇත.

පොතුපිටිය – සුමිත් රණවක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here