වාර්ෂිකව පැවැත්වෙන පාර්ලිමේන්තු සේවක සුහද හමුවකට සහභාගි වූ එහි සේවක සේවිකාවන් පිරිසක් නිවෙස්වලට රැගෙන යමින් සිටි පාර්ලිමේන්තු බස් රථයක හැපීමෙන් ගම්පහ වැලිවේරිය පොලිසියේ සැරයන්වරයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙම සුහද හමුව මීගමුව ප්රදේශයේ හෝටලයක පවත්වා තිබේ.
සිද්ධිය වී ඇත්තේ ගම්පහ – කිරිඳිවැල මාර්ගයේ හේනේගම මල්පැලේ ප්රදේශයේදී ය.
මේ සිද්ධියෙන් පසු පාර්ලිමේන්තු බසයේ රියැදුරා තුවාලකරු රෝහල්ගත කිරීමට පියවර නොගෙන බස් රථය ද අතහැර දමා පළා ගොස් ඇතැයි වාර්තා වේ.
අනතුරට හේතු වූ පාර්ලිමේන්තු බස් රථයෙන් රැගෙනවිත් තිබුණේ මීගමුවේ සාදයට සහභාගි වූ පාර්ලිමේන්තු සේවක සේවිකාවන් පිරිසකි.
අනතුරින් මියගොස් ඇත්තේ, වැලිවේරිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ ආනන්ද පෙරේරා නමැති 56 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි.
ඔහු මල්වතුහිරිපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරින් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ප්රදේශවාසීන් විසින් රදාවාන රෝහලට ඇතුළත් කරනු ලැබ ගම්පහ දිස්ත්රික් මහ රෝහලට මාරුකර යැවීමෙන් පසු එහිදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ උපපොලිස් පරීක්ෂක ආනන්ද ප්රියලත් මහතා ඇතුළු කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ සඳහා පාර්ලිමේන්තු බස් රථය පොලිස් භාරයට ගැනිණි.
මියගිය සැරයන්වරයාගේ මෘත දේහය ගම්පහ දිස්ත්රික් මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (ඔක්. 30) පැවැත්විණි.
සැකකාර බස් රියැදුරා එම සාදයට සහභාගි වී අධික ලෙස බීමත්ව සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවැසේ.
ඔහුගේ මත් ගතිය අඩු කිරීම සඳහා සහෝදර සේවක පිරිසක් විසින් ඔහු හෝටලයේ පිහිනුම් තටාකයට බස්සවා නෑමට සලස්වනු ලැබ ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවැසේ.
පසුව කිහිප දෙනෙකු එකතුවී පසුව ඔහු බස් රථයට ඉතා අසීරුවෙන් රැගෙනවිත් රියැදුරු අසුනට ගොඩකර ඇති බව ත් පොලිසියට තොරතුරු අනාවරණයවී ඇත.
ඔහු ඉතාමත් අසීරුවෙන් මෙන් ම අනතුරුදායක ආකාරයෙන් බස් රථය පදවාගෙන පැමිණ ඇති බවත් පොලිස් සැරයන්වරයා යට වීමට පෙර බස් රථය ප්රදේශයේ වෙළෙඳසලක ගැටීමෙන් ඊට ද හානි සිදුව තිබූ බවත් ආරංචි මාර්ග සඳහන් කළේ ය.
පාර්ලිමේන්තුවේ මේ සුහද සාදය වසරකට වරක් සංවිධාන කෙරෙන අතර කොවිඩ් තත්ත්වය හේතුවෙන් මෙවර එය සංවිධාන කෙරුණේ වසර තුනකට පසුව ය.
මෙම සාදයට පාර්ලිමේන්තු ප්රධානීන් පිරිසක් ද සහභාගි වී ඇතැයි දැනගන්නට ඇත.