රටේ ජනතාව පක්ෂ දේශපාලනය පිළිකුල් කොට ප්‍රතික්ෂේප කිරීමේ වාතාවරණයක් මේ වන විට උද්ගතව පවතින බව ක්‍රීඩා, තරුණ කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි. මහින්ද සමඟ යළි නැඟිටිමු දේශපාලන වේදිකාවේ දක්නට නොලැබීම සම්බන්ධයෙන් මහනුවරදී මාධ්‍යවේදියකු කළ විමසුමකට පිළිතුරු දෙමින් හෙතෙම ඉහත අදහස් පළ කළේය. අමාත්‍යවරයා 29දා ශ්‍රී දළදා මාලිගාවේ පැවැති මහවැලි යල් අස්වනු පූජාවට සහභගිවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් මෙසේද කීය. මම දකින විධියට මේක පක්ෂ දේශපාලනය කරන්න වෙලාවක් නෙවෙයි.
මගේ මතය නම් මේ වෙලාවේ කළ යුත්තේ දේශපාලනය කිරීම නොව සියලුදෙනා එක්ව රට නංවාලීමේ භාරධූර කාර්යයට සහයෝගය ලබාදීමයි. මේ මොහොතේ අප රටේ ජනතාවට දේශපාලනය කියන මාතෘකාවම පිළිකුල් වෙලා තියෙන්නෙ. විශේෂයෙන් පක්ෂ දේශපාලනය මේ රටේ ජනතාවට තිත්ත වෙලා තියෙන්නේ. දැන් රටේ ජනතාව ඉල්ලන්නේ පක්ෂ දේශපාලනය හෝ දේශපාලනය නොව රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යෑමේ නිශ්චිත ක්‍රියාවලියක්.
මහනුවර – කේ.එල්. සුරවීර






