මීට සති දෙක තුනකට පමණ පෙර යම් පිරිසක් රත්නපුර කොස්පැලවින්න පාසල් භූමියේ කළ අනවසර පතලකින් රුපියල් කෝටි 80ක් වටිනා නිල් ගෙවුඩ මැණිකක් හමුවීමේ තොරතුරත් සමඟ සති දෙක තුනක් ඇතුළත ගම්බද දරුවන් 60 දෙනකු අධ්‍යාපනය ලබන රත්නපුර කොස්පැලවින්න විදුහල් භූමියට මැණික් හොරුන්ගෙන් දැඩි හානි සිදුවෙමින් පවතී. මෙම මැණික හමු වූ පිරිසගෙන් මෙයට සම්බන්ධ අයකු විසින් රුපියල් කෝටි 8කට මිලදී ගෙන පසුව ඔහු එය රුපියල් කෝටි 80කට විකුණා ඇත.
නගරබද පාසල්වල තදබදය අඩු කිරීමට ගම්බද පාසල් දියුණු කිරීමට දැඩිව අවශ්‍ය යුගයක මෙවැනි ගම්බද පාසල්වලට මෙසේ හානි කිරීම සම්බන්ධයෙන් එම පාසලේ ගුරු මහත්ම මහත්මීන්ද, එම පාසලේ දරු දැරියන්ගේ මවුපියන්ද මේ වන විට විශාල කනස්සල්ලකට පත්ව සිටින අතර ඔවුන් පවසන්නේ පොලිසියෙන් ආරක්ෂාව ලබා දී තිබියදී පවා ඇතැම් පොලිස් නිලධාරීන්ගේ හා දේශපාලනඥයන්ගේ අනුග්‍රහය මත රාත්‍රි කාලයට පාසල් භූමියට හා දෙමහල් ගොඩනැඟිල්ලට හානි සිදුවන අන්දමින් මෙම මැණික් ඉල්ලම් ලබාගැනීම නිතර සිදුවන බවයි.
රත්නපුර මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්ම මෙම කොට්ඨාසය භාර නාගරික මන්ත්‍රිවරයා ලෙසද රත්නපුර ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසද කටයුතු කරන ලක්ෂ්මන් මුණසිංහ මෙම විනාශය සම්බන්ධයෙන් පසුගියදා රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට පැමිණ විෂය භාර රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක දැනුවත් කළ අතර එහිදී මුණසිංහ මහතා පැවැසුවේ ඉහළ අයගේ සම්බන්ධතා මත මෙවැනි ගම්බද පාසලක් විනාශ කිරීම රටේ අනාගත පරපුරට කරන හානියක් බවයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් සබරගමුව පළාත් අධ්‍යාපන අධ්යක්ෂ සේපාල කුරුප්පු ආරච්චිගෙන් විමසීමක් කළ අතර ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේ පැවැසීය. මා මේ සම්බන්ධයෙන් පළාත් අමාත්‍යාංශයේ ලේකම්වරයාට, පළාත් ආණ්ඩුකාරවරයාට මෙන්ම පොලිසියටද දන්වා තිබෙනවා. මෙය වැළැක්වීමට කළ යුතු නිර්දේශ ද දී තිබෙනවා. මා මැණික් සංස්ථාවටද නිර්දේශ කර තිබෙනවා මෙම ගම්බද පාසල ආරක්ෂා කර ගැනීමට මෙහි තිබෙන ඉල්ලම් ටික සාර්ථකව ලබා ගෙන ඉන් ලැබෙන මැණික් විකුණා එම මුදල් රජයට ලබා දෙන ලෙස. එහෙත් තවම ඒවා ක්‍රියාත්මක වී නෑ. පොලිසියෙන් ආරක්ෂාව ලබා දී තිබුණද රාත්‍රි කාලවලදී මෙම ඉල්ලම් ලබාගැනීම සිදුවන බවට තොරතුරු ලැබෙනවා. මෙය වහා වැළැක්වීමට රජය මෙන්ම වගකිව යුතු අංශ කටයුතු කළ යුතුයි. නැත්නම් මෙම පාසල විනාශ වීම වළක්වා ගැනීමට අපහසු වනවා යැයි ඔහු පෙන්වා දුන්නේය.
මෙහි පවතින තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගියදා මාධ්‍යවේදීන් පිරිසක්ද එම ස්ථානයට ගිය අවස්ථාවේ එහි ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙක් විසින් බාධා කර ඇති අතර පසුව මෙම පිරිස ගමේ තරුණ පිරිසක්ද සමඟ එක්ව පාසල් භූමිය පරික්ෂාවට ලක් කර කර තිබේ. එහිදී ගොඩගෙන යම් ස්ථානයක සඟවා තිබූ මැණික් ඉල්ලම් ගෝණි කිහිපයක් සොයාගෙන ඇත. පසුව එය මැණික් සංස්ථාවට දැන්වීමෙන් පසු එහි නිලධාරීන් පිරිසක් පැමිණ මෙම ඉල්ලම් රැගෙන ගොස් ඇත.
ගම්වාසීන් පවසන්නේ මෙම අනවසර හානිදායි ක්‍රියාව පොලිසියේ මෙන්ම ඇතැම් දේශපාලනඥයන්ගේ තිබෙන සම්බන්ධතාව මත සිදුවන බවයි.
කුරුවිට – කේ.ඒ.එස්. පියතිලක