Home Local News Room : සොරකම් 29ක් කළ බවට සැකපිට දස හැවිරිදි දරුවෙක් අත්අඩංගුවට

News Room : සොරකම් 29ක් කළ බවට සැකපිට දස හැවිරිදි දරුවෙක් අත්අඩංගුවට

1
0

වයස අවුරුදු 10ක දරුවෙකු මුදල් ඇතුළු කොල්ලකෑම් 29ක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව ජා-ඇළ පොලිස් ස්ථානයේ අධිකරණ කාර්ය භාර පොලිස් නිලධාරී පොලිස් පරීක්ෂක රංජිත් ප්‍රේමසිරි පවසයි.

මාළු වෙළෙඳාමේ යෙදී සිටි පුද්ගලයෙකු ඔහුගේ රුපියල් 9,700ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් කරනු ලැබූ පැමිණිල්ලක් අනුව සිදු කළ පොලිස් විමර්ශනයේදී මේ පිළිබඳව අනාවරණය වූ බව පොලිසිය සඳහන් කර තිබේ.

ජා-ඇළ, ඒකල, පන්සල පාර ප්‍රදේශයේ නිවසක පදිංචි මෙම දරුවාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු සිදු කළ සොරකම් 29ක් පිළිබඳව හෙළි වී ඇත.

එම සොරකම් අතර නිවෙස්වලට ඇතුළු වී ජංගම දුරකතන, ත්‍රිරෝද රථ අමතර කොටස්, යතුරුපැදිවල අමතර කොටස් සොරා ගැනීම ඇතුළු රු. 300 සිට රු. 1,000 දක්වා සොරා ගැනීම් 29ක් මෙලෙස අනාවරණය කර ඇත.

පාසලේ 4 වසර දක්වා අධ්‍යාපනය ලබා ඇති මෙම දරුවාට මව හා පියා වෙන් වීම හේතුවෙන් පාසල් ගමන නතර කිරීමට සිදුව තිබේ.

මෙම දරුවා සොරකම් කරන ලද මුදල්වලින් ඔහුගේ මිතුරන් සමග හෝටල්වලට ගොස් ආහාර ගෙන ඇති අතර ප්‍රදේශයේ වැඩිහිටි කාන්තාවන් මෙම දරුවාගෙන් ණයට මුදල් ද ලබාගෙන ඇත.

දරුවාගෙන් පොලිසිය වැඩිදුර කළ ප්‍රශ්න කිරීමේදි දරුවා නැවත පාසල් යාමට කැමැත්ත පළ කර තිබේ.

දරුවා සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් ලබාගෙන ඔහුව අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය සඳහන් කර තිබේ.

ජා-ඇළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක රංජිත් ප්‍රේමසිරි, කාන්තා හා ළමා කාර්යංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා උත්පලා යන නිලධාරීහු දරුවා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

  • ප්‍රසංග පාවුළුහේවා – ජා-ඇළ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here