යක්කලමුල්ල, කළුවගල කුරුඳු වාඩියක් තුළ සිදු වූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා, ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිව් හැවිරිදි පිරිමි දරුවා අද (ඔක්. 30) උදෑසන මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, යක්කලමුල්ල, මාගෙදර ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.
ඉකුත් 19 වන දා සිදු වූ එම වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස්, සිව් හැවිරිදි දරුවා සහ තව ත් අයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබිණි.
වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් සිව් හැවිරිදි දරුවාගේ උදරයට බරපතළ තුවාල සිදු වී තිබිණි.
අප වාර්තාකරු සඳහන් කළේ, මෙම දරුවා ශල්‍ය කර්මයකට භාජනය කොට තිබූ අතර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා මිය ගොස් ඇති බව ය.
යතුරුපැදියකින් පැමිණි තිදෙනකු ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කොට තිබුණු අතර ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා යක්කලමුල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි.