දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලෝවීන් උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමෙන් මිය ගිය පිරිස අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව තහවුරු වී තිබේ.
mawbima.lk කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු මේ බව තහවුරු කළේ ය.
එම ප්‍රකාශකයා සඳහන් කළේ, මිය ගිය ශ්‍රී ලාංකිකයා පිරිමි පුද්ගලයෙකු බව ය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරට ත් පැවසීය.
දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලෝවීන් උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් මේ වන විට පුද්ගලයින් 151 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් පුද්ගලයින් 82 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ය.
මියගිය පිරිස අතර විදේශිකයන් 19 දෙනෙකු සිටින බව ද මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල් ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.
තත්ත්වය පාලනය කෙරෙන තුරු ශෝක කාලය ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි එරට ජනාධිපති කාර්යාලය සඳහන් කර තිබේ.