ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ මිත්‍ර රටවල් ලබා දෙන ආධාර හා වැඩපිළිවෙළ අන්තර්ගත කරමින් මෙවර අයවැය ලේඛනය සකස් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.
අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සිදු කෙරෙන සාකච්ඡා සාධාරණ අයුරින් සිදුව අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරන වාර්තාවේ අවසන් අදියරේ වැඩ කටයුතු නිම වෙමින් තිබෙන බව ය.
ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (ඔක්. 29) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
අදාළ සාකච්ඡා මගින් සකස් කෙරෙන කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම අයවැය ගෙන එන බව ද හෙතෙම අවධාරණය කළේ ය.
රජය සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පවත්වන සාකච්ඡා මගින් සකස් කරන වාර්තාව එහි අධ්‍යක්ෂ මණ්ඩලය මගින් අනුමත කිරීමෙන් පසු ප්‍රකාශයට පත් කෙරෙන බව ද ගුණවර්ධන මහතා පැවසීය.
අදාළ සාකච්ඡා සඳහා මුදල් ඇමතිවරයා ලෙස ජනපතිවරයා ද මහ බැංකු අධිපතිවරයා ද ඇතුළු පිරිසක් සහභාගි වන බව ත් රටට ණය ලබා දෙන ක්‍රමවේදය තීරණය කරනු ලබන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් බව ත් කී අගමැතිවරයා රට පත්ව තිබෙන සැබෑ අර්බුදය ගැන කතා නොකර ඇතමුන් කුමක් හෝ දෙයක් අල්ලා විවේචන ඉදිරිපත් කිරීමට බලා සිටින බව ද ප්‍රකාශ කර සිටියේ ය.
බදු මගින් රජයට ලැබුණු ආදායම්වලට වඩා රජය පවත්වාගෙන යාම සඳහා වන වියදම් වැඩි බව ත් මේ හේතුවෙන් යම් ප්‍රමාණයකට බදු ඉහළ දැමීමට සිදු වූ බව ත් කී ඒ මහතා ජනතාවට සහන ලබා දීමට සෑම අවස්ථාවක ම රජය කටයුතු කරන බව ද අවධාරණය කළේ ය.
ජනතාවට අවශ්‍ය ගෑස්, ඉන්ධන, විදුලිය ලබා දීමට රජයට හැකියාවක් නැතැයි ඇතමුන් කළ චෝදනා අද පුස්සක් වී තිබෙන බව ත් මේ ආකාරයෙන්ම සෙසු ප්‍රශ්න ද ක්‍රමානුකූලව නිමා කරන බව ත් අගමැතිවරයා වැඩිදුරට ත් පැවසුවේ ය.






