Home Local News Room : සෆාරි ටුවර් ගැන ජනපතිගේ තීරණ

News Room : සෆාරි ටුවර් ගැන ජනපතිගේ තීරණ

4
0

යාල, විල්පත්තු, හෝර්ටන්තැන්න ආදී ජාතික වනෝද්‍යාන වෙත ලියාපදිංචි සෆාරි වාහන හැරුණු කොට වෙනත් කිසිදු වාහනයකට ඇතුළු වීම තහනම් කෙරෙන පරිසර ආරක්ෂණ නීති ඇතුළත් නව පනතක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ අංශ වෙත නියම කරනු ලැබීය. එතෙක් මෙම ජාතික වනෝද්‍යානවලට ලියාපදිංචි සෆාරි වාහන හැරෙන්නට වෙනත් කිසිදු වාහනයක් ඇතුළු නොකරන ලෙස ජනාධිපතිවරයා නියෝග නිකුත් කර තිබේ.

ඊට අමතරව ශ්‍රී  පාද අඩවි වනාන්තරය, සිංහරාජය  ඇතුළු පාරිසරිකව වැදගත් වන ස්ථාන ආරක්ෂා කිරීමට වෙනමම නීති කඩිනමින් ඊට ඇතුළත් කරන ලෙසද ජනාධිපති උපදෙස් දී තිබේ.

පරිසර අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබූ විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත.

හෝර්ටන්තැන්නට පිවිසෙන පට්ටිපොල සිට  සහ ඔහියේ සිට ගමන් පහසුව සැලසීම සඳහා පරිසර හිතකාමී ⁣ඉලෙක්ටි්‍රක් වාහන යොදා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ දුන් උපදෙස්වල සඳහන් වේ. මීට අමතරව කැබලිත්ත පූජාභූමියද සුරැකීමට අවශ්‍ය නීති සකසන ලෙසද මෙහිදී දන්වා තිබේ.

මෙරට වන වැස්ම 35%ක් වැනි අඩු අගයක පැවැතීම නිසා ඉදිරියේදී කරන සියලු සංවර්ධන ව්‍යාපෘතිවලදී මේ ගැන සැලකිලිමත් වන ලෙසත් වන වැස්මට හානිවන කිසිදු ව්‍යාපෘතියකට අවසර නොදෙන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට එහිදී උපදෙස් දුන්නේය.

යාල විල්පත්තු සහ හෝටන්තැන්න ආදී පරිසර පද්ධති නැරඹීමට යන සංචාරකයන්   සඳහාද විදුලියෙන් ධාවනය වන රථ යෙදවීම කඩිනමින් කළ යුතු යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් උපදෙස් දුන්නේය. එසේම සොබාව සෞන්දර්ය රැකගැනීමට අදාළ නව නීතිද මෙම පනතට ඇතුළත් කරන ලෙසද ඔහු වැඩිදුරටත් දැනුම් දී තිබේ.

යාලවිල්පත්තු සහ හෝර්ටන්තැන්න ආදී වනෝද්‍යානවල පරිසරය ආරක්ෂා කිරීම සඳහා  වන ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව වහාම වැඩි කරන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ දුන් උපදෙස්වල තවදුරටත් සඳහන් වේ.

ගගනි වීරකෝන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here