යාල, විල්පත්තු, හෝර්ටන් තැන්න ආදී ජාතික වනෝද්‍යාන වෙත ලියාපදිංචි සෆාරි වාහන හැරුණු කොට වෙනත් කිසිදු වාහනයකට ඇතුළු වීම තහනම් කෙරෙන පරිසර ආරක්ෂණ නීති ඇතුළත් නව පනතක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ අංශ වෙත නියම කරනු ලැබීය.
එතෙක් මෙම ජාතික වනෝද්‍යානවලට ලියාපදිංචි සෆාරි වාහන හැරෙන්නට වෙනත් කිසිදු වාහනයක් ඇතුළු නොකරන ලෙස ජනාධිපතිවරයා නියෝග නිකුත් කර තිබේ.
ඊට අමතරව ශ්‍රී පාද අඩවි වනාන්තරය, සිංහරාජය ඇතුළු පාරිසරිකව වැදගත් වන ස්ථාන ආරක්ෂා කිරීමට වෙනමම නීති කඩිනමින් ඊට ඇතුළත් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
පරිසර අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබූ විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.
හෝර්ටන් තැන්නට පිවිසෙන පට්ටිපොළ සිට සහ ඔහියේ සිට ගමන් පහසුව සැලසීම සඳහා පරිසර හිතකාමී ඉලෙක්ට්‍රික් වාහන යොදා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ දුන් උපදෙස්වල සඳහන් වේ.
මීට අමතරව කැබලිත්ත පූජාභූමිය ද සුරැකීමට අවශ්‍ය නීති සකසන ලෙස ද මෙහිදී දන්වා ඇත.
මෙරට වන වැස්ම 35%ක් වැනි අඩු අගයක පැවැතීම නිසා ඉදිරියේදී කරන සියලු සංවර්ධන ව්‍යාපෘතිවලදී මේ ගැන සැලකිලිමත් වන ලෙසත් වන වැස්මට හානිවන කිසිදු ව්‍යාපෘතියකට අවසර නොදෙන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට එහිදී උපදෙස් දී තිබේ.
යාල විල්පත්තු සහ හෝර්ටන් තැන්න ආදී පරිසර පද්ධති නැරඹීමට යන සංචාරකයන් සඳහා ද විදුලියෙන් ධාවනය වන රථ යෙදවීම කඩිනමින් කළ යුතු යැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරට ත් උපදෙස් දී ඇත.
එසේ ම සොබාව සෞන්දර්ය රැකගැනීමට අදාළ නව නීති ද මෙම පනතට ඇතුළත් කරන ලෙසද ඔහු වැඩිදුරටත් දැනුම් දී තිබේ.
යාලවිල්පත්තු සහ හෝර්ටන් තැන්න ආදී වනෝද්‍යානවල පරිසරය ආරක්ෂා කිරීම සඳහා වන ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව වහා ම වැඩි කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ දුන් උපදෙස්වල තවදුරට ත් සඳහන් වේ.
- ගගනි වීරකෝන්






