අයාලේ ගොස් වල්වැදී යාල අභයභූමිය අවභාවිත කළ මිනිස් සතුන්ගේ වනචාරි චර්යාවන් පිළිබඳව ඇත්තේ මහාපරිමාණ කතා ගොන්නකි. ඒ කතාවල ඇත්ත නැත්ත සොයා බලන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාද උපදෙස් දී ඇත. මහ කැලයේ සිට අධිකරණය දක්වා ගිය මේ කතාන්දරයට හේතු වූයේ අපේ රටේ ප්‍රභූ පුතුන් සහ කෝටිපති ව්‍යාපාරිකයන් එකතු වී කළ අමන යක් නැටුමකි. මේ යක් නැටුමට සම්බන්ධ වූ පිරිස 80ක් පමණ වන බවද ඔවුන් පාවිච්චි කළ වාහන ප්‍රමාණය 35ක් පමණ වන බවද කියැවේ. ඔවුන් පැමිණ තිබුණේ පත්පැන් හා කටගැස්මට අවශ්‍ය මස් මාංසද රැගෙනය. ඒවා තෙලෙන් බැදගත් ඩෙවල් බයිට්ය.
වනෝද්‍යාන ආරංචි මාර්ගවලට අනුව මේ පිරිස පැමිණීමට පෙර ඔවුන්ගේ පැමිණීමේ නිල දැනුම්දීම කර ඇත්තේ ප්‍රබල ඇමැතිවරයෙකි. ඒ අනුව උද්‍යානයේ ස්වේච්ඡා සංචාරක මඟ පෙන්වන්නන් 07 දෙනකු ඔවුන්ගේ සහායට ඉදිරිපත් වී තිබේ. ඒ අනුව පසුගිය 23 වැනිදා ඔවුහු ඩිෆෙන්ඩර් හා තවත් සුපිරි ජීප් රථ ගොන්නක් සමඟ යාල වන උද්‍යානයට ඇතුළු වූහ.
ඔවුන් ගිහින් තිබුණේ් මේ වන භූමියේ කලාප අංක 01ටය. නමුත් ඊට පෙර තවත් වාහන 09ක් පමණ යාල කලාප අංක 2ට ගිහින් තිබෙනවා. මේ කලින් ගිය වාහන ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මොකද ඒ අය ඇඟ බේරගෙන හොරෙන්ම අභය භූමියෙන් එළියට ගිය නිසා. නමුත් අපි ඔවුන් ගැනත් සෙවිල්ලෙන් ඉන්නේ. අප සමඟ මෙසේ කීවේ පරිසරවේදියකු වූ නයනක රන්වැල්ලය.
සාමාන්‍යයෙන් වනජීවී ආඥා පනතට අනුව වනයක් තුළ හැසිරිය යුතු පිළිවෙතක් ඇත. මහ වනයේ ජීවත්වන සතා සිවුපාවුන්ට හිංසාවක් කරදරයක් ඇති නොවන ආකාරයට හැසිරිය යුතුය. ඒ අණපනත් මුළු ලෝකයටම පොදුය.
එහෙත් මේ කිසිදු නීතියක් රීතියක් ගනන් නොගත් වැල්ලවායේ මෝටර් රථ සංගමයේ සාමාජිකයන් පිරිසක් හා නිකවැරටිය කුකුළු ගොවිපොළ අයිතිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් යැයි කියාගත් පිරිසක් මේ වනයට වන වැදී කළේ නීතිගරුක සමාජය පිළිකුල් කරන වස වැරැද්දකි.
ඔවුන් සිය ඩිෆෙන්ඩර් හා සුපිරි රථ ධාවනය කළේ ඉවක් බවක් නැතිවය. මත්පැන් පානය කරමින් කෑකෝ ගැසුවේ වන සතුන් පවා බියට පත් කරවමිනි.
සාමාන්‍යයෙන් වනජීවී කලාපවලට ඇතුළු වන්නන්ට එසේ කෑකෝ ගසමින් නන් ෙදාඩවමින් නොහොබිනා ලෙස හැසිරිය නොහැකිය. එසේම වීඩියෝ කිරීමට මෙන්ම වාහනවලින් බැස නිදහසේ සැරිසැරීමටද ඉඩක් නැත. ඒ ඇරුණුකොට සතා සිවුපාවුන්ට පමණක් ගැවසිය හැකි කලාපවලට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම්ය. එහෙත් මේ වනයට කඩාවැදුණු පිරිස සිය වනචරකම නිදහසේ ප්‍රදර්ශනය කළේ සිය හැසිරීම් සමාජගත නොවෙතියි සිතාගෙන විය හැකිය. එහෙත් 23 වැනිදා එළිවන විට මේ විෂම හැසිරීම සමාජය පුරා ව්‍යාප්ත වූයේ වයිරසයක් ලෙසිනි.
මෙහෙම සමාජගත වුණේ නැත්නම් මේ පිරිස නිදැල්ලේම ගෙවල්වලට යනවා. ඇත්තටම දැන් නීතිය ඉදිරියට පමුණුවලා තියෙන්නෙත් සුළු පිරිසක්නේ. වාහන 07ක් විතර වගේ රඳවගෙන උසාවිය හමුවට ඉදිරිපත් කළා. ඒ අය අර ප්රභූන්ගේ ගෝලබාලයෝ. පැමිණි පිරිස නිදැල්ලේ ඉන්නවා.
මම දකින්නේ මේකේ සම්පූර්ණ වැරැද්ද මේ යාල අභය භූමියේ ඉන්න නිලධාරීන්ගේ කියලා. ඔවුන්ට තිබුණා මේ අය ගැන විධිමත් විධියට උසාවියට වාර්තා කරන්න.
“සාමාන්‍යයෙන් මේ වගේ වනඋද්යානයකට ඇතුළු වෙද්දී හැම වාහනයකම අංක ලියා ගන්නවා. ඊළඟට හැඳුනුම්පත් අංකය ලබා ගන්නවා. ඉතින් ඇතුළුවන පුද්ගලයාගේ සියලු විස්තර ඔවුන් සතුව තිබෙනවා.
ඊළඟට සී.සී.ටී.වී. වලින් බලාගන්න පුළුවන් වාහනයේ කී දෙනෙක් වාඩිවෙලා ඉන්නවද කියලා. නමුත් ඔවුන් ඒ දේවල් හරි විධියට විස්තර සහිතව උසාවියට ඉදිරිපත් කළේ නැහැ. එදා ඔය පැමිණි පිරිසගේ සියලු විස්තර දැනටමත් ඔවුන් සතුව තිබෙනවා.
මේ වාහන කීපයක් රඳවගෙන උසාවි දාලා ඒවා අසාදුගත කරන්න කටයුතු කරනවා කිව්වා. තවම ඒවා කරලා නැහැ. නීතියට අනුව මේ වාහන පමණක් නෙමෙයි. ඒ පුද්ගලයන්ට වසර 03ක් ගතවනතුරු වනෝද්‍යානයකට ඇතුළු වෙන්න බැරි විධියට දඬුවම් කරනවලු. මේවා කරන්නේ කාටද? අර ප්රභූන්ටද? නැහැ රියැදුරන්ට. ඒ අය නෙමෙයිනේ මෙහෙම හැසිරුණේ. ඊළඟට වාහනවලින් එළියට ඇවිත් තිබෙන දෙදෙනකුට. දෙන්නද එහෙම ආවේ. අපි සමාජ ජාලාවල තිබුණු වීඩියෝ හොඳින් දැක්කනේ. වනජීවී එක මීට වඩා සංවේදීව හා ඔවුන් සතුව තිබෙන නීති රාමුව ඇතුළේ මීට වඩා යමක් කරන්න තිබුණා. ඔය යාල වනෝද්‍යානයේ නොහොබිනා විධියට හැසිරුණු අයට හෙට වුණත් පුළුවන් තවත් උද්‍යානයකට ගිහින් මෙහෙම හැසිරෙන්න. පරිසරවේදී නයනක රන්වැල්ල කීවේය.
යාල අභයභූමියට පැමිණි මේ පිරිස දැන් උත්සාහ ගන්නේ ඔවුන්ගේ මුදල් බලයෙන් මේ අශෝභන ක්‍රියාවලිය යට ගැසීමටය. ඒ වෙනුවෙන් ඔවුන් කෝටියක්, දෙකක් වියදම් කිරීමට වුවත් සූදානම්ය.
“ඔවුන් එදා වරුවේ හිටපු හෝටලයට පවා ලක්ෂ 65ක් පමණ ගෙවා තිබෙනවා. මේ පිරිස ලෙහෙස පහසු පිරිසක් නොවෙයි. ඔවුන් සාමාන්‍යයෙන් දිනකට ලක්ෂ 50ක්, 100ක් වගේ උපයන බිත්තර වෙළෙන්දෝ. ඊළඟට කුකුළු ආහාර නිෂ්පාදනය කරන අය. මේ එක ව්‍යාපාරිකයෙක් පසුගියදාක කියා තිබුණා ඔහු බිත්තර මිල ඉහළ යෑමත්් එක්කම දවසකදී ලක්ෂ 75ක් ඉපැයූ බව. මෙසේ කීවේ නම හෙළි කිරීමට අකැමැති වූ වනෝද්‍යානයට සම්බන්ධ පුද්ගලයෙකි. ඔහු වැඩිදුරටත් පැවැසුවේ ඉවක් බවක් නැතිව මුදල් වියදම් කරන ඔවුන් තමන්ගේ වැරැද්ද වසා ගැනීමට කුලීකරුවන් පවා යොදාගෙන ඇති බවය.
ඔය අහුවෙන හැම වාහනයකටම කවුරුහරි පිටස්තරයෙක් ඉදිරිපත් වෙනවා. ඒ අයට ලැබෙන දඬුවමට අනුව වියදම් කරන්නත් ඔවුන් සූදානමින් ඉන්නවා. දැන් බලන්න ඉදිරිපත් වෙන නීතිඥ මහත්තුරු දිහා. පුංචි රියැදුරු මහත්තයකුට එහෙම නීතිඥ මහත්තයකුගේ සේවය ගන්න බැහැනේ. ඔහු වැඩිදුරටත් කීවේය.
වනජීවී ආඥා පනතට අනුව අනුව වනයට හිරිහැර කරන ඒ අණපනත් තුට්ටුවකට මායිම් නොකරන ඕනෑ තරාතිරමේ පුද්ගලයකුට සිර දඬුවම් පවා නියම කළ හැකියි. ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වන්නේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ නීතියයි. මේ පනත උල්ලංඝනය කරන ඕනෑම පුද්ගලයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකිය. නමුත් වනජීවී නිලධාරීන් තවමත් ඒ සම්බන්ධව සක්‍රියව ක්‍රියා කරන ආකාරයක් දක්නට නැත. ඊට හේතුව අමාත්‍යාංශ ලේකම්වරයකු මෙන්ම ඇමැති ඥාති පුතුන් හා බෑනාවරුන් සිටි නිසාද යන්න පරිසරවේදීන්ට ගැටලුවක් වී ඇත.
කළුතර පැත්තේ පොහොට්ටු ඇමැතිවරයකුගේ බෑනා කෙනෙක්ගේ වාහනය මෙතැන හොඳින් පේන්න තිබෙනවා. ඔහුට ඒ වාහනය හිමි බව කලින් ඉඳලම ලැබුණු තොරතුරු පවා සමාජ මාධ්‍යවල හුවමාරු වෙනවා. නමුත් නීතිය නිශ්්්ශබ්දයි. වනජීවී විෂයට සම්බන්ධ නිලධාරි මහතකු එසේ කීවේ ඒ ජීප් රථයේ ඡායාරූප කීපයක් හොඳින් නිරීක්ෂණය කිරීමෙන් පසුවය.
කෙසේ හෝ මේ සම්බන්ධව කරුණු රැසක් හෙළි කළ ජේයෂ්ඨ පරිසරවේදී සජීව චාමිකර මහතා ප්‍රකාශ කළේ මේ දුරකථන ඇමතුම ලබාදුන් ඇමැතිවරයාගේ දැනුම්දීම මත වනජීවී අධ්යක්ෂවරයා පවා මේ පිරිසට උද්‍යානයට ඇතුළුවීම සඳහා පහසුකම් සපයා දෙන ලෙස උද්‍යාන භාරකරුට දැනුම්දුන් බවය. කෙසේ හෝ මේ වෙද්දී මහා වනයට ඇතුළු වී කා බී විනෝද වුණු පිරිස දැන් නිදහසේ ජීවත් වන්නේ මෙරට දේශපාලන බලපුළුවන්කාර බව යළි යළිත් පෙන්වා දෙමිනි. එහෙත් යාල වනෝද්‍යානයට ඇතුළු වී කුලියක් මලියක් කොට එසේත් නැත්නම් මඟ පෙන්වීමක් කර සුළු මුදලක් සොයා ගන්නා මඟ පෙන්වන්නන්ට මෙන්ම යාල ජීප් රථ හිමියන්ගේ සංගමයට උදා වී ඇත්තේ අසුබ කාලයකි.
මේ විධියට ශබ්ද කළාම වන සතුන්ට පමණක් සීමා වුණු තහනම් ප්‍රදේශවලට ඇතුළු වෙලා විනාශකාරී විධියට හැසිරුණාම මේ වන සතුන් අෑතට යනවා. ආපහු කාලෙකට ඒ කලාපයට එන්නේ නැහැ. කොටින්ම කියනවා නම් මාස ගණන් ගතවනතුරු අපට සතෙක් සිවුපාවෙක් ඇහැට දකින්න ලැබෙන එකක් නැහැ. කුරුල්ලෝ සොයා ගන්නවත් ලැබෙන්නේ නැහැ. මොකද මේ ඝෝෂාවට ඔවුන් බියයි.
ඊළඟට බලන්න මේ මාර්ගෝපදේශකයෝ ගැන. ඔවුන් මේ පිරිස පැමිණෙන විදිහ හරි නැහැ කියලා මූලස්ථානයට දැනුම් දුන්නා. එහෙම කරලා එන්න ආවා. නමුත් දඬුවම ලැබුණේ ඔවුන්ට. දැන් කොහොමද මේ අයගේ දරුවන්ට කන්න දෙන්නේ. කවුද ඒවා දිහා සානුකම්පිතව බලන්නේ.
අපේ රටේ ජාතික සම්පත් ආරක්ෂා කිරීම සෑම පුරවැසියකුටම අයිති දෙයක්. එය වගකීමෙන් යුතුව ඉටුකළ යුතුමය. එහෙත් වනජීවී ආඥා පනතට අනුව අනිවාර්යයෙන්ම ක්‍රියා කළ යුතු නීති රාමුව තුළ නොසිට වටේ යන පිරිසකගේ ක්‍රියාකලාපය දැන් හොඳින්ම පැහැදිලිය.
එහෙත් අපේ රටේ මාධ්‍ය ආයතනවල හා මාධ්‍යවේදීන්ගේ මෙන්ම පරිසර හිතකාමී පුරවැසියන්ගේ අවධානයෙන් මිදීම පහසු නැත. ඔවුන් අදත් හෙටත් මතුවටත් මේ අධම ක්‍රියාවල නියුතු පුද්ගලයන්ට එරෙහිව පෙනී සිටිනු ඇත.
මේ කාරණය එසේ තිබියදී අපේ රටේ වත්මන් තත්ත්වය හා මේ ප්‍රභූන් හැසිරෙන ආකාරය ගැනත් මේ සටහන අවසන් කිරීමට පෙර අකුරු කළ යුතුය.
මේ වෙද්දී අපේ රටේ දරුවන්ගෙන් හරි අඩකටත් වඩා සිටින්නේ බිත්තරයක්වත් ආහාරයට ගන්නට බැරි මට්ටමකය. මන්දපෝෂණයට ගොදුරු වී සිටින මේ දරුවන් ඇඬු කඳුළින් කන්න ඉල්ලද්දී බිත්තර විකුණන මහ ඇත්තන් දිනකට වියදම් කරන මුදල සුළුපටු නැත. ඔවුන්ට රටේ දරුවන් ගැන වගක් නැත. දුක් විඳින පවුල් ගැන වගේ වගක් නැත. ඊට හේතුව ඔවුන් පහළ පන්තියේ ඉන්න දුගී දුප්පත් මිනිසුන්ගේ ඡන්දය පමණක් අපේක්ෂා කරන දේශපාළුවන්ගේ ගෝලබාලයන් හා හිතවතුන් වීමය. පොකැට්ටුව රිසි ලෙස පිරී ඇති ඔවුන්ට සතා සිවුපාවුන්ගේ නොව මනුෂ්‍ය වර්ගයාගේ වුව පැවැත්ම ගැන හිතන්නට වුවමනාවක් නැත.
යාල අභය භූමියට ඇතුළුවන ඕනෑම වාහනයක් අනුගමනය කළ යුතු පිළිවෙතක් ඇත. මේ ක්‍රියාවලිය සදාචාරාත්මකය. වනජීවී නීතියට අනුව එහි වෙසෙන නේවාසික කුරුලු විශේෂ 130ක් පමණය. සංක්‍රමණික කුරුලු විශේෂ 30ක් පමණය.
එමෙන්ම මේ වනෝද්‍යානය තුළ අලි ඇතුන් ඇතුළුව ක්ෂීරපායි විශේෂ 44ක් පමණ දැකගත හැකිය. එහිදී කලාප අංක එකේ පමණක් නිතර දකින අලි ඇතුන් ප්‍රමාණය 150ක් පමණය. සද්දන්ත කොටි 40ක් පමණ එහි වෙසෙන බව වනජීවී නිලධාරීන් තහවුරු කොට ඇත. ඊට අමතරව වලසුන්, දිවියන්, ගෝනුන් හා මුවන් වල් මීහරක් වැනි සතුන්ද නිතර දැකගත හැකිය.
එහෙත් මේ වන සතුන් දැක බලාගෙන විනෝද වීම කෙසේ වෙතත් මත්පැන් බී කෑකෝ ගසා මහ වනය අපවිත්‍ර කළ මේ උදවිය නිසාම ඉදිරියේදී මේ වන සතුන් සියැසින් දැක ගැනීම දුර්ලභ වනු නියතය.
සමන් ප්‍රියංකර නම්මුනිගේ






