ගෙවුණු මාස නවය තුළ මනුෂ්‍ය ඝාතන 435ක් සිදුව ඇතැයි ඉකුත් සතියේ මාධ්‍ය වාර්තා කළේය. එම මිනිස් ඝාතන සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී ඉන් ඝාතන බොහොමයකට සම්බන්ධ සැකකරුවන් පොලිසිය මේ වනවිටත් කොටුකරගෙන හමාරය. එහෙත් නොවිසඳුණු මිනිස් ඝාතනද ඒ අතර විය. සමහරක් ඝාතන තවමත් පවතින්නේ අබිරහස් මිනීමැරුම් ලෙසය. එවන් අබිරහස් මිනිස් ඝාතන කිහිපයක් ඉකුත් වසරේ දිවයිනේ නොයෙකුත් පොලිස් වසම්වලින් වාර්තා වුවද ඒවා විසඳීමට හෝ ඊට සම්බන්ධ වූවන් කොටුකර ගැනීමට විමර්ශන නිලධාරීන්ට මෙතෙක් හැකියාවක් ලැබී නැත.
ඉකුත් දින ඝාතනයට ලක්වූ මැල්සිරිපුර රේස්වත්තේ පදිංචි චිත්‍රානන්ද ජයරත්න නමැති නාවික ඉන්ජිනේරුවරයාගේ මරණයද මේ වනවිටත් පවතින්නේ කිසියම් අබිරහසකින් යුක්තවය.
චිත්‍රානන්ද ජයරත්න නමැති ඔහු වසර හතළිහකට ආසන්න කාලයක්ම ජීවත් වූයේ ඇමරිකා එක්සත් ජනපදයේය. මේ නිසා ඔහුට ඇමරිකාවේ පුරවැසිභාවයද හිමි විය. ඊට අමතරව ඔහු ශ්‍රී ලංකාවේද පුරවැසියකු වීම නිසා ඔහු ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙක් ලෙස සැලකිණි.
ඉකුත් ඔක්තෝබර් මස 01 වැනිදා සිට මොහු ආගිය අතක් නැති විය. ඒ වනවිට ඔහු විශ්‍රාම සුවයෙන් සිය සැ¼දෑ සමය ගෙවමින් සිටියේය. ආගිය අතක් නැති වෙද්දී ඔහුට වයස අවුරුදු 72ක් විය.
ඔහු අතුරුදන්ව ඇති බව කියමින් මැල්සිරිපුර පොලිසියට මුලින්ම පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ ඉන්ජිනේරුවරයා සමඟ ඔහුගේ නිවෙසේ නතරව ඔහුට ආවතේව කටයුතු කළ මිලින්ද රුක්ෂාන් නමැත්තෙක්ය. ඔහු පොලිසිය වෙත පැමිණිලිකර තිබුණේ ඉකුත් 08 වැනිදාය. ඔහු පොලිසිය හමුවේ පැවැසුවේ ඉකුත් පළමු වැනිදා සිට තම ස්වාමියා රේස්වත්ත නිවෙසට නොපැමිණි බවය. වැඩිදුරටත් ඔහු නිලධාරීන් හමුවේ කියාසිටියේ තම හාම්පුතා අනුරාධපුර වන්දනාවේ යන බව කියමින් පළමු වැනිදා නිවෙසින් ගියද මෙතෙක් ඔහුට සිදු වූ දේ සොයාගත නෙහැකි බවය. එමෙන්ම ඔහුගේ ජංගම දුරකථනයද ක්‍රියා විරහිත වී ඇති බවද මිලින්ද වැඩිදුරටත් කියන්නට විය.
එම පැමිණිල්ල යොමු කර දින පහක් ගතවෙද්දී ඉන්ජිනේරුවරයාගේ අතුරුදන් වීම ගැන පොලිසියට තවත් පැමිණිල්ලක් ලැබිණි. ඒ ජයරත්න ඉන්ජිනේරුවරයාගේ ඥාතියකු වූ මාලඹේ උද්‍යාන පාරේ පදිංචි අභයගුණවර්ධන යන අයකුගෙන්ය.
මෙම පැමිණිලි සම්බන්ධයෙන් අවධානය යොමු කළ මැල්සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක ප්‍රියශාන්ත මහතා කණ්ඩායමක්ද කැටුව රේස්වත්ත ඉන්ජිනේරුවරයාගේ නිවෙසට ගියේ ඔහුගේ හදිසි අතුරුදන් වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහාය. මැල්සිරිපුර පොලිසියේ සිට කිලෝමීටර් තුනහමාරක දුරින් රේස්වත්ත නිවෙස පිහිටියේය. එහිදී නිලධාරීන්ට මෙවන් කරුණු කාරණා අනාවරණය කරගත හැකි විය.
චිත්‍රානන්ද ජයරත්න වසර 40කට ආසන්න කාලයක් සේවය කළේ ඇමරිකාවේ නාවික ඉන්ජිනේරුවරයකු ලෙසය. මේ නිසා ඔහු විශාල වැටුපකටද හිමිකම් කීවේය. එම මුදල් බැරවූයේ ඔහු විසින් විවෘත කළ ඇමරිකන් බැංකු ගිණුමකටය.
මෙලෙස ඇමරිකාවේ රැකියාව කළ ජයරත්න විටින්විට මෙරටට පැමිණියේය. එලෙස පැමිණි අවස්ථාවලදී ඔහු රේස්වත්තේ සිය මහගෙදර ජීවත් විය. ජයරත්න අවිවාහකයකු වුවද විවිධ කාන්තාවන් ඔහු ඇසුරු කළේය. නිවෙසටද ගෙන්වා ගත්තේය.
කාන්තා ඇසුරට ප්‍රිය කළ ඔහුට ගලගෙදර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් හමුවූයේ ඔය අතරය. ඔහු ඇය සමඟ යම් සබඳකමක් පැවැත්වුවද ඇය හා නීත්‍යනුකූලව විවාහ නොවීය. එහෙත් ඔහුට දාව ඇයට ගැහැනු දරුවකු ලැබිණි.
ඒ හැරෙන්නට ඔහුගේ නිවෙස අහල පහල කිසිදු ඥාතියකු පදිංචිව සිටියේ නැත.
මේ අතරතුරදී මොහුට දාව ගලගෙදර කාන්තාවට ලැබුණු දියණියගේ කරදඬු උස් මහත් වූ අතර පසුව එම දියණියගේ භාරකාරත්වය හා මුදල් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් නිසා ගලගෙදර කාන්තාව ජයරත්නට එරෙහිව කුරුණෑගල දිසා අධිකරණයේ නඩුවක්ද ගොනුකර තිබිණි. එම නඩුව තවමත් විභාග වෙමින් පවතින්නේය.
මේ අතර සිය රැකියාවට සමුදීමෙන් පසු ඇමරිකාවට ආයුබෝවන් කී ඔහු ඉකුත් 2019 වසරේදී සැ¼දෑ සමය සිය මහගෙදර ගත කිරීමේ අරමුණෙන් මෙරටට පැමිණියේය.
එතැන් පටන් ඔහු ජීවත් වූයේ රේස්වත්තේය. වයස අවුරුදු 72ක් වුවද බැංකු ගිණුම්වල ඇති මුදල් වැය කරමින් ඔහු සතුටින් කාලය ගත කළේය. විශ්‍රාමික සුවයෙන් සිටියද මසකට වරක් ඇමරිකානු ඩොලර් 500ක් ඔහුගේ ගිණුමට බැර විය. ඒ නිසා ඔහුට කිසිදු අඩුපාඩුවක් ද තිබුණේ නැත.
රුක්ෂාන් මිලින්ද ඔහුට දැන හඳුනාගැනීමට ලැබෙන්නේ ඔය අතරය. ඒ මීට මාස හතරකට පමණ පෙරය. මිලින්ද වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එමෙන්ම මත්කුඩුවලට තදින් ඇබ්බැහි වූවෙකි.
මේ අතර ජයරත්නගේ ආවතේව කරමින් රේස්වත්තේ ජීවත් වූ මිලින්ද වැඩි කලක් යන්නට මත්තෙන් ජයරත්නගේ බැංකු ගිණුම් ගැනද හොඳ අවබෝධයක් ඇති කරගත්තේය. ඒ වනවිට ජයරත්නද මත්පැන් භාවිතයටත් මත්ද්‍රව්‍ය පාවිච්චියටත් පුරුදු වී සිටියේය.
ජයරත්න ශල්‍යකර්මයකට භාජන වූ අයෙකි. ඒ කොඳු නාරටියේ වූ ආබාධයක් නිසාය. මේ නිසා සමහර අවස්ථාවල ජයරත්නගේ වුවමනා එපාකම් සඳහා බැංකුවට යන්නට වූයේ මිලින්දටය. බැංකුවට ගොස් අවශ්‍ය මුදල් ගෙන ඒමට බැංකු රහස්‍ය අංකය පවා ජයරත්න මිලින්දට ලබාදී තිබුණේය. මිලින්ද ‘කුඩු’ ගෙනාවේත් ජයරත්නගේ ගිණුමෙන් මුදල් රැගෙනය.
මිලින්ද රේස්වත්ත අවට ඔහුගේ හිතවතුන්ද ජයරත්නගේ නිවෙසට කැඳවාගෙන ආවේය. ඔවුන් බොහොමයක්ම මතට ඇබ්බැහි වූවෝය. මේ නිසා ජයරත්නගේ වියදමින් රේස්වත්තේ ගෙදර නිතර නිතර මත්පැන් සාදද පැවැතිණි. ඒ සඳහා මත්කුඩුද මොවුහු එක්කර ගත්හ.
ඉකුත් සැප්තැම්බර් මස 27 වැනිදා ගොකරැල්ල පොලිසියේ කණ්ඩායමකට මිලින්ද කොටු වූයේ ජයරත්නද සමඟය. ඒ මත්කුඩු සන්තකයේ තබාගැනීම නිසාය. අත්අඩංගුවට ගත් ඔවුන් පසුදා අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය. අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් පසු මුදල් දඩයකට යටත්ව ඔවුන් මුදාහැරිණි.
එමෙන්ම මිලින්ද හොඳ චරිතයක් ඇත්තකුද නොවීය. ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක්ද පැවැතිණි. සොරකම් නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ඔහුට වරෙන්තු නිකුත් කර තිබිණි. ජයරත්නගේ නිවෙසට ගිය මැල්සිරිපුර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම ජයරත්නගේ ක්‍රියා කලාපය ගැන මෙලෙස තොරතුරු සොයාගත්හ. ඉන් අනතුරුව ජයරත්නගේ නිවෙසද නිලධාරීහු නිරීක්ෂණය කළහ. ජයරත්න රැඳී සිටි කාමරයද පරීක්ෂා කළ නිලධාරීන් කිසියම් සැකකටයුතු දෙයක් ඇත්දැයි සොයා බැලුවද එවන් කිසිදු තොරතුරක් හමු නොවීය. ජයරත්න පදිංචි නිවෙසේ වත්ත පහළ ද පරීක්ෂා කළද කිසිදු හෝඩුවාවක් ඉන්ද සොයා ගැනීමට නිලධාරින්ට නොහැකි විය.
ඒ අතරතුර ජයරත්නගේ නිවෙසේ ආවතේව සේවයේ යෙදී සිටි මිලින්දගෙන්ද ප්‍රකාශයක් ලබාගත් නිලධාරීන් හිස් අතින්ම යළි පොලිසියට ගියේය.
දින කිහිපයක් ගතවෙද්දි ජයරත්න ඉන්ජිනේරුවරයාගේ ඥාතියකු ඇමරිකාවේ සිට වට්ස්අප් තාක්ෂණය ඔස්සේ මැල්සිරිපුර පොලිස් ස්ථානාධිපතිවරයා ඇමතීය.
“සර් මගේ ඥාතියාගේ එකවුන්ට් එකෙන් තුන් වැනිදා ඇමරිකන් ඩොලර් 500ක් අරගෙන තියෙනවා. 4 වැනිදා ආයේත් ඇමරිකන් ඩොලර් 500ක් අරන්. 5 වැනිදා තවත් ඩොලර් 280ක් අරන්. මේ ගැන හොයලා බලන්න.
ඥාතියා ස්ථානාධිපතිවරයාට කීවේය. ස්ථානාධිපතිවරයා ඔහුගෙන් තවදුරටත් ඒ ගැන කරුණු විමසා ජයරත්නට ඇති බැංකු ගිණුම් දෙකක තොරතුරු සොයා ගත්තේය. එහිදී අනාවරණය වූයේ රාජ්‍ය බැංකුවක සහ පෞද්ගලික බැංකුවක ඔහුගේ නමින් ගිණුම් දෙකක් ඇති බවය.
ඊළඟට ස්ථානාධිපතිවරයා රාජ්‍ය බැංකුවේ කළමනාකරුට මේ බව දන්වා ජයරත්නගේ ගිණුම ගැන විමසද්දී ඔහු කීවේ සැප්තැම්බර් මස 30 වැනිදා ජයරත්න විසින් එම ගිණුම වසා දමා ඇති බවය.
පසුව පෞද්ගලික බැංකු ගිණුමේ කළමනාකරුටද විමර්ශනය පිළිබඳ දන්වා එම බැංකුවේ ඇති ගිණුම ගැන තොරතුරු විමසද්දී කළමනාකරු කීවේ එම ගිණුමෙන්ද ගනුදෙනුවක් සිදුව නැති බවය.
ඉන් අනතුරුව ස්ථානාධිපතිවරයා වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ඇමරිකාවේ සිටින ජයරත්නගේ ඥාතියාට මේ බව දන්වා සිටියේය. එහිදී එම ඥාතියා කීවේ ඇමරිකානු බැංකුවකද ජයරත්නනගේ නමට ගිණුමක් ඇති බවය. පසුව ස්ථානාධිපතිවරයා පෞද්ගලික බැංකුව හරහා එම ගිණුම පරීක්ෂා කිරීමේදී අනාවරණය වූයේ එම ගිණුමෙන් තෙවරක්ම ඇමරිකානු ඩොලර් 1280 ක් රැගෙන ඇති බවය.
ඒ අනුව එම මුදල ලබාගත්තේ කවුදැයි යන්න ස්ථානාධිපතිවරයාට ගැටලුවක් විය. එහෙත් ජයරත්නගේ ඥාතියා කීවේ එම මුදල් ලබාගන්නට ඇත්තේ ජයරත්නට ආවතේවකම් කළ මිලින්ද බවය.
කෙසේ වෙතත් පෞද්ගලික බැංකුවකින් මුදල් ලබාගන්නා අයුරු දැක්වෙන සී.සි.ටී.වී. පිංතූරයක්ද ස්ථානාධිපතිවරයා වෙත ලැබිණි. එම රූපයේ සිටින පුදග්ලයා පැහැදිලිවම හඳුනාගත නොහැකි වුවද එය බැලූ බැල්මට මිලින්දගේ රුවට සමාන විය. ස්ථානාධිපතිවරයා මිලින්ද පොලිසිය කැඳවා ඒ සම්බන්ධයෙන්ද ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබා ගත්තද ඔහු එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය. එහෙත් ඔහු කිසියම් බියකින් පෙළෙන බව ස්ථානාධිපතිවරයාට වැටහුණේය. ජයරත්නගේ ඥාතියකුද ගිණුමෙන් මුදල් ලබාගෙන ඇති බව කියමින් මිලින්දට බැණ වැදී ඇත. මේ නිසා පොලිසියට හසුවෙතැයි යන බියකින් මිලින්ද පසුවිය.
“අපිට මිලින්දව එකපාරටම සැක කරන්න බැහැ. ඒ නිසා අපි අධිකරණය හරහා නියෝගයක් ලබා ගත්තා ජයරත්නගේ පෞද්ගලික ගිණුමේ තොරතුරුත් මුදල් ලබාගත් දිනත් ඉල්ලලා. ඒ වාර්තාව තවම අපිට ලැබුණේ නැහැ. ඒත් අපේ සැකයත් ඥාතීන්ගේ සැකයත් මිලින්ද වෙත ඉල්ල වෙලා තිබුණු නිසා අපි මිලින්දට කිව්වා වත්තෙන් කොහේවත් යන්න එපා. කොහේ හරි යනවා නම් අපිට කියන්න. හැමදාම උදේ වරුවේ අපිට කතා කරන්න කියලා. මූ කොහේ හරි පැනලා යාවි කියන සැකයට.” ඒ අතර මිලින්ද ගැන පොලිස් නිලධාරීන් මෙසේ විමසිලිමත් වෙද්දී ඉකුත් 23වැනිදා දවසම මිලින්දගෙන් නිලධාරීන්ට කිසිදු ඇමතුමක් නොලැබිණි. මේ ගැන ඇති වූ සැකය මත නිලධාරීන් රේස්වත්තට ගියේ මිලින්ද වත්තෙන් පැන ගොස්දැයි යන සැකයද සමඟය.
ඒ අනුව රේස්වත්තට ගියත් නිලධාරීන්ට දැකගත හැකි වූයේ මිලින්ද නිවෙසේ මුළුතැන්ගෙයි බාල්කයක එල්ලී සිටින අයුරුය. ඔහු ඒ වන විටත් මියගොස් සිටියේය. පසුව මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ මිලින්ද රුක්ෂාන් නමැත්තාගේ මරණය ගෙල සිරවීමෙන් සිදුව ඇති බවය.
මිලින්දගේ සියදිවි නසා ගැනීම නිලධාරීන්ට මහත් ගැටලුවක් ගෙන දුන්නේය. ඒ ඔහුගේ හාම්පුතා වූ ඉන්ජිනේරුවරයාගේ අතුරුදන්වීම සම්බන්ධ විමර්ශන පැවතෙද්දී මිලින්ද මෙසේ එල්ලී දිවි තොරකර ගැනීම නිසාය.
මේ නිසා ඉන්ජිනේරුවරයාගේ අතුරුදන්වීමත් මිලින්ද එල්ලී මියයෑමත් අතර කිසියම් සම්බන්ධයක් ඇතැයි නිලධාරීහු සැක පහළ කළහ. ඒ අනුව නිලධාරීහු කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේත් කුරුණෑගල කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේත් උපදෙස් මත ඉදිරි විමර්ශන ඇරඹූහ.
මිලින්දගේ අවසන් කටයුතු සඳහා දේහය මුදා හළ දිනට පසුදින කුරුණෑගල ජේයෂ්ඨ පොලිස් අධිකාරි අබේසිංහද රේස්වත්තට ගියේ මිලින්දගේ මරණය ගැන ඇති වූ නොයෙකුත් සැක සංකාද සමඟය. මේ සඳහා කුරුණෑගල සොකෝ නිලධාරීන් මෙන්ම නිල සුනඛයාද එක්කරගෙන තිබිණි. ඊට අමතරව කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති බණ්ඩාර දෙකඳුවල ඇතුළු කණ්ඩායමක්ද රේස්වත්තට කැඳවා තිබිණි. මැල්සිරිපුර පොලිසියට අමතරව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයද විමර්ශනයට එක්කර තිබීම ඊට හේතුව විය.
රේස් වත්තේ සෑම අස්සක් මුල්ලක්ම ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිරීක්ෂණයට ලක් විය. පසුව නිවෙස පිටුපස වත්තට නිලධාරීන්ද කැටුව ඇවිද ගිය ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ දෙනෙත් එකවර වත්ත පිටුපස ඇති වළක් අසල නතර විය.
“මෙතන පස් බුරුලයි වගේ.” වළ අසල නතර වූ ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයා විමර්ශන නිලධාරීන්ට කීවේ කිසියම් සැකයකින්ය.
“මෙතන පොඩ්ඩක් හාරලා බලමු. සමහරවිට ඔය මිසින් වෙලා ඉන්න ඉන්ජිනියර් මේකේ ඇතුළේ ඉන්නත් පුළුවන්.
කෙහෙල්කොට දමා වසා දමා තිබූ එම වළ අලුතෙන් හාරන ලද වළක් බවට ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයාට වැටහී තිබිණි.
ඔහුගේ උපදෙස් මත දෙතුන් දෙනෙක් වළේ පස් ඉවත් කරන්නට යුහුසුලු වූහ. කාගේත් දෙනෙත් යොමුව තිබුණේ වළ දෙසටය. පස් තට්ටු එකිනෙක ඉවතට විසිවෙද්දී කළු පැහැති බෑගයක් වළ තුළින් මතු විය. නිලධාරීහු එකිනෙකාගේ මුහුණු බලන්නට වූහ. ඒත් කිසිවකුගේ මුවින් වචනයකුදු පිට නොවීය.
“තව ටිකක් හාරන්න”
“සර් මේකේ යට මොකක් හරි තියෙනවා
“මිනිහෙක්ගේ බොඩියක් වගේ” ඉන්පසු වළ හෑරීම නතර කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ රාජකාරිමය පළපුරුද්ද ගැන නිලධාරීහු පුදුමයට පත්ව සිටියහ.
කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වුණු අතර ඉන් පසුව ඉන්ජිනේරු ජයරත්නගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේන මහතා වෙත යොමු කළේය.
මෙහිදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිගමනය කළේ ගෙලට සහ හිසට සිදුවූ කැපුම් තුවාල සහ මලකඩ සහිත මොට ආයුධයකින් හිසට සහ මුහුණට පහරදීම හේතුවෙන් ජයරත්නගේ මරණය සිදුව ඇති බවය.
කෙසේ වෙතත් ජයරත්නගේ මරණයට හේතුව සොයා ගැනීමට පොලිසියට මෙතෙක් හැකි වී නැත. ඊට එක් හේතුවක් වන්නේ ඒ සම්බන්ධයෙන් දැන ගැනීමට සිටි එකම පුද්ගලයා වූ මිලින්දද මේ වන විට එල්ලී මියගොස් සිටීම නිසාය. ඒ අනුව පොලිසිය සැක කළේ කිසියම් ආරවුලක් මත ඉන්ජිනේරු ජයරත්න මරා වළ දැමීමෙන් පසු ඊට තමා හසුවෙතැයි යන බියෙන් මිලින්ද එල්ලී මිය යන්නට ඇති බවය. එහෙත් එය සැකයක් පමණි. මේ නිසා ජයරත්න ඉන්ජිනේරුවරයාගේ ඝාතනය තවමත් නොවිසඳුණු අබිරහස් මරණයක් විය.
එහෙත් කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීහු සිය උත්සාහය අත් නොහළහ. ලැබුණු තොරතුරු මත ජයරත්නගේ ගෙදරට ආගිය පුද්ගලයකු නිලධාරීහු පොලිසියට කැඳවූහ.
“මේ එක්කෙනෙක් ජයරත්න අතුරුදන් වෙලා දවස් 13කට පස්සේ ඒ කියන්නේ ගිය 13 වැනිදා ජයරත්නට අයිති ස්කූටි බයික් එක මිලින්දත් එක්ක එකතුවෙලා දඹුල්ලට විකුණලා රුපියල් හැටදාහක් අරන් තියෙනවා.
“ඒ වෙනකොට ජයරත්න අතුරුදන් වෙලා, දැන් මිලින්දත් නැහැ. ඒ නිසා අපි සැක කරනවා මේ පුද්ගලයා ජයරත්නගේ මරණය ගැන මොනවා හරි දෙයක් දන්නවා ඇති කියලා.”
“ප්‍රශ්න කරලා විකුණපු බයික් එක අපි හොයා ගත්තා. දැන් අපිට තියෙන්නේ ජයරත්නව මැරුවේ කවුද, වළ දැම්මේ කවුද, ඒ මොකක් නිසාද කියලා හේතු කාරණා හොයාගන්නයි. මේ ගෙදරට ආව ගිය දෙතුන් දෙනෙක් ගැනත් තොරතුරු හෙළිවෙලා තිබෙනවා. අපි ඒ අයගෙන් ප්‍රශ්න කරනවා. දැන් ජයරත්න මියගිහින් දින 30ක්. ඒත් තවම ජයරත්න මරපු කාරණය හෙළි වුණේ නැහැ. මිලින්දගේ මරණය විමර්ශනයට බාධාවක් වුණත් ජයරත්නගේ මරණයට හේතුව හොයාගන්නකම් මේක අබිරහස් මරණයක්” විමර්ශන පවත්වන උසස් නිලධාරියෙක් කීවේය.
වයඹ පළාත භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, කුරුණෑගල දිසාභාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත, කුරුණෑගල කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ, සහකාර පොලිස් අධිකාරිනි නිල්මිණි චන්ද්‍රරත්න යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් හා අධීක්ෂණය මත කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර දෙකඳුවල මහතා ඇතුළු කණ්ඩායමක්ද මැල්සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක ප්‍රියශාන්ත මහතා ඇතුළු කණ්ඩායමක්ද මේ පිළිබඳ විමර්ශනවලට එක්ව සිටිති.
පොලිස් පරීක්ෂණ ඇසුරෙන් සකස් විය.
කීර්ති මෙන්ඩිස්






