ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පසුගිය ඔක්තෝබර් 21 වැනිදා සම්මත වූ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසියකු පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයක් දැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය. එසේ වුවද වර්තමාන පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියන් 10කට වැඩි සංඛ්‍යාවක් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුම පවසති. උදය ගම්මන්පිල විසින් පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන්ගේ ලේඛනයක් ලබා දෙන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.
වාසුදේව නානායක්කාර, පාඨලී චම්පික රණවක, ආදී මන්ත්‍රිවරු ගණනාවක් ප්‍රකාශ කර තිබුණේ ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවේ සිටී නම් ඔවුන්ට තවදුරටත් මන්ත්‍රි ධුරය දැරීමේ නීතිමය හිමිකම නොමැති බැවින් ඔවුන් වහාම නම්බුකාර ලෙස ඉල්ලා අස්විය යුතු බවය. මෙහිදී අපට මතුවන බරපතළ ප්‍රශ්නය ඔවුන් නම්බුකාරයන් වන්නේ කෙසේද යන්නය.
වර්තමාන මන්ත්‍රි මණ්ඩලය තේරී පත්වූයේ 2020 අගෝස්තු 05 පවත්වනු ලැබූ මහා මැතිවරණයෙනි. එම මැතිවරණය පවත්වන ලද්දේ එවකට නෛතික බලය සක්‍රියව පැවැති ආණ්ක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය යටතේය. ඊට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තකුට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුරයක් සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ නොහැකිය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය 2015 වසරේ මැයි 15 සම්මත කරනු ලැබූ අතර එවකට පැවැති පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගෙන් ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන ලද්දේ සරත් වීරසේකර පමණි. ද්විත්ව පුරවැසිභාවය දැරීම මන්ත්‍රි ධුරයක් සඳහා ඉදිරිපත්වීමට නුසුදුසුකමක් බව මන්ත්‍රිවරු සියල්ලෝම දැන සිටිති.
වර්තමාන පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රිවරුන් 10කට වැඩි සංඛ්‍යාවක් සිටී නම් ඔවුන් සියලු දෙනාම දැන දැනම වංචනික ලෙස මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් අසත්‍ය දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර පාර්ලිමේන්තුවට හොර රහසේ රිංගාගත් පිරිසකි. ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රි වරප්‍රසාද භුක්ති විඳින්නේ කිසිදු නීතිමය හිමිකමක් නොමැතිවය. ඔවුන් නම්බුකාර ලෙස තම මන්ත්‍රි ධුර අත්හළ යුතු බව කීම තේරුම්ගත නොහැකි අපභ්‍රංශයකි.
සොරුන් වනාහී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සොරුන්ය. සොරුන් නම්බුකාර සොරුන් ලෙස වර්ගීකරණය කිරීම උන්ගේ රැහේ ඇම්බැට්ටයන් විසින් මුතුකුඩ යට පාර්ලිමේන්තුවෙන් පිටතට වැඩමවීම සඳහා සිදුකරන උප්පරවැට්ටියකි. ජනතාව ඊට විරුද්ධ විය යුතුය. ව්‍යවස්ථා නීතිය අකුරට දැනගෙනත් තක්කඩි ලෙස පාර්ලිමේන්තුවට හොරෙන් රිංගුවා නම් වරදට දඬුවමක් තිබිය යුතුය. ඔවුන් මේ දක්වා වසර දෙකහමාරක් තිස්සේ මේ රටේ මහජන මුදලින් ලබාගත් සියලු වැටුප් දීමනා ඔවුන්ගෙන් අයකර ගත යුතුය.
පුරවැසිභාවය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට, මැතිවරණ කොමිසමට අසත්‍ය ලේඛන ඉදිරිපත් කිරීමේ බරපතළ වරද එකී මන්ත්‍රිවරුන් සිදු කර තිබේ.
දේශපාලකයන්ට සහ උන්ගේ හෙන්චයියලාට මේ රටේ එක නීතියක් සහ අනෙකුත් පුරවැසියන්ට තවත් නීතියක් බලපවත්වන බව රහසක් නොවේ. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම ප්‍රකාශ කර තිබෙන්නේ රටේ නීතිය බලගන්වන බවය.
එසේ නම් මේ ඒ සඳහා වෙලාවය. නීති විරෝධී අන්දමින් පාර්ලිමේන්තුවට රිංගා මන්ත්‍රි ධුර දරමින් සිටින සියල්ලන් වහාම එළියට ඇද දැමීම සඳහා නීතිය ක්‍රියාත්මක කළ යුතුය.
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර රජයේ තනතුරක් දරන්නකු හට
ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ හිමි දඬුවම ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රින්ටද ලබා දිය යුතුය.
එය එසේ නොවන්නේ නම් එතැන සිදුවන්නේ ශ්‍රී ලංකාවේ වරප්‍රසාද ලද්දවුන්ට එක නීතියක් හා රටේ සාමාන්‍ය ජනතාවට වෙනත් නීතියක් බලපවත්වන බව සනාථ වීමය. ශ්‍රී ලංකාව දේශපාලනඥයන්ගේ ග්‍රහණයේ පවතින දූෂිත රාජ්‍යයක් බව තහවුරු වීමය.
ද්විත්ව පුරවැසිභාවය දරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් වර්තමාන පාර්ලිමේන්තුව පක්ෂග්‍රාහී ලෙස ක්‍රියා කරමින් සිටින බව දැනටමත් පෙනෙන්නට තිබේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළේ ද්විත්ව පුරවැසිභාවය දරන මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම තමාගේ රාජකාරියක් නොව එය මැතිවරණ කොමිසමේ සභාපතිට අයත් රාජකාරියක් බවය.
මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ප්‍රකාශකර තිබුණේ ද්විත්ව පුරවැසි භාවය හිමි මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් කටයුතු කිරීම මැතිවරණ කොමිසමේ රාජකාරියක් නොව පාර්ලිමේන්තුවේ කථානායකගේ රාජකාරියක් බවය. මෙහිදී ආණ්ඩුව හිතාමතාම ජනතාවට බෝලය පාස් කරමින් ක්‍රීඩාවක නිරත වන බව ඉතා පැහැදිලිය. මේ තක්කඩිකමට ජනතාව හිස නැමිය යුතු නැත.
පාර්ලිමේන්තුවේ කුඩු මුදලාලිලා සිටින බවත් අවශ්‍ය නම් ඔවුන් තමාට ඇඟිල්ල දිගු කර පෙන්විය හැකි බවත් රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේදී පැවැසීය. ‘සභාවේ සිනා’ මිස ඊට වැඩි යමක් ඒ සම්බන්ධයෙන් සිදු නොවීය. නීති විරෝධී ලියවිලි ඉදිරිපත් කර හොරුන් ලෙස පාර්ලිමේන්තුවේ වාඩිවී සිටි මන්ත්‍රිවරු සම්බන්ධයෙන්ද ඊට වැඩි යමක් සිදු නොවන බව ඉ¾දුරාම ප්‍රකාශ කළ හැකිය. ගීතා කුමාරසිංහ මන්ත්‍රිවරියට ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් වරක් මන්ත්‍රි ධුරය අහිමි විය. ඒ 19 වැනි සංශෝධනය බලගැන්වී තිබියදීය. එදාද ඇය ගෙදර යද්දී අනෙක් ද්විත්ව පුරවැසි මන්ත්‍රිවරු හැංගී සිටියහ. ගීතාට එක නීතියක් හා අනෙක් මන්ත්‍රින්ට තවත් නීතියක් බලපෑ අන්දම එහිදී පැහැදිලි විය.
රටේ පුරවැසියකු
ශ්‍රී ලාංකිකයකුද, ද්විත්ව පුරවැසියකු දැයි නොදන්නා මෙවැනි පකිස්ලන්තයක් ලෝකයේ තවත් තිබේ දැයි අපි නොදනිමු. ආණ්ඩුව අපට කියන්නේ කිසියම් මන්ත්‍රිවරයකු ද්විත්ව පුරවැසියකු බවට සැක සිතේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් නඩුවක් පවරන ලෙසය. සුප්‍රිම් උසාවියේ නඩු කියන්නට තබා පස්ස කසා ගන්ට නියපොත්තක් නැති ජනතාවට ආණ්ඩුව කරන සමච්චලයක් මිස මේ අන් කිසිවක් නොවේ.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් දැමූ ද්විත්ව පුරවැසි තහංචිය ගෝඨාභය රාජපක්ෂ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් ඉවත් කළේය. ඒ අනුව පසුගියදා බැසිල් රාජපක්ෂ මුදල් ඇමැති ධුරයට පත්වූයේ 20 හි නීතිමය ආවරණය ඇතිවය. නමුත් දැන් 21 සම්මත වී තිබෙන නිසා ද්විත්ව පුරවැසියකුට ජනාධිපති ධුරයට පත්වීම හෝ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු බවට පත් වීම සඳහා නෛතික හිමිකමක් නැත. අපේ රටේ ව්‍යවස්ථා සංශෝධනවල ලොකුම විහිළුව වී තිබෙන්නේ සම්මත වූ 21 යටතේ ද්විත්ව පුරවැසියන්ට පළාත් සභාවක මන්ත්‍රි ධුරයක්, ඇමැති ධුරයක්, දැරීමට හෝ මහ ඇමැති තනතුර දැරීමට කිසිදු බාධාවක් නොතිබීමය.
කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා යැයි කතාවක් තිබේ. පසුගිය කාලේ දේශප්‍රේමය ගැන මහා ඉහළින් කතා කළ ඇතැමුන් ද්විත්ව පුරවැසියන් වූ අයුරු අපි දුටුවෙමු. සමහරු ද්විත්ව පුරවැසිභාවයට මෙතරම් ගිජු වන්නේ ද්විත්ව පුරවැසියන්ට රටවල් දෙකේම දේපළ පවත්වා ගැනීමටත් බූදල් ගොඩගසා ගැනීමටත් සමාන අයිතියක් හිමිවන බැවිනි. ඔවුන්ගේ ඊනියා දේශප්‍රේමය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වංචාවකි.
ද්විත්ව පුරවැසියාට තමන් අභිමත පරිදි දෙපැත්තට පැනිය හැකිය. ඊට හොඳම උදාහරණය බැසිල් රාජපක්ෂය. ඔහු ඕනෑම අවස්ථාවක ඇමරිකාව වෙනුවෙන් ආයුධ අතට ගැනීමට සූදානම් ඇමරිකානු පුරවැසියෙකි. අනෙක් අතට ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකා රාජ්‍යයේ පංගුකාරයකු වී මෙරට මහා භාණ්ඩාගාරය අතපත ගෑමට 20න් ඔහුට අයිතිය ලබාදී තිබිණි. තීරණාත්මක අවස්ථාවකදී ඔහු පෙනී සිටින්නේ කොයි රට වෙනුවෙන්ද යන්න වටහා ගන්නා විට බොහෝ ප්‍රමාද වී තිබිය හැකිය.
පුරවැසිභාවයේ භයානකකම හොඳින් දන්නා නිසාම ලොව බොහෝ රාජ්‍යයන් එම රටවල පුරවැසියන්ට ද්විත්ව පුරවැසිභාවය දැරීම තහනම් කර තිබේ. මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසිභාවය වලංගු කරනවාට එදා දැඩි අකැමැත්ත පළ කළ අතර විරෝධය දැක්වීමක් වශයෙන් ලෙයින් අස්සන් කරන්නට වුවද තමන්
වහන්සේ සූදානම් බව ප්‍රකාශ කළහ. එහෙත් 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ උදෑසන පැපිලියාන සුනේත්‍රාදේවි මහ පිරිවෙනට මාධ්‍ය හමුවක් කැඳවූ උන්වහන්සේ ප්‍රකාශ කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වූ බවත් එතුමා ඉදිරිපත් කළ සංවේදී කාරණාවලට අවනතව 20ට සහයෝගය දෙන්නට තමන් තීරණය කළ බවය. දැන් නැවතත් උන්වහන්සේ ද්විත්ව පුරවැසිභාවයට විරුද්ධව අදහස් ප්‍රකාශ කර තිබේ. රටේ සෑම ක්‍ෂේත්‍රයකම පැතිර ඇති දෙපැත්තට ෙදා්ලනය වන උකටලී භාවය රටට විපතක් මිස සුගතියක් අත්කර දුන්නේ නැත. ද්විත්ව පුරවැසියන්ගේ ඊනියා දේශප්‍රේමය තක්කඩිකමක් මිස අනෙකක් නොවේ.
උදේනි සමන් කුමාර






