Home Local News Room : කුරුලෑ නැතිකර කැළැල් මකා සිදුරු ගොඩකරවන අත්දුටු සත්කාර

News Room : කුරුලෑ නැතිකර කැළැල් මකා සිදුරු ගොඩකරවන අත්දුටු සත්කාර

3
0

ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හැදෙන කුරුලෑ කියන්නේ ස්වාභාවික දෙයක් මිසක් රෝගී තත්ත්වයක් නම් නොවෙයි. නමුත් මේ බිබිළක් නිසා ඔබේ හිතට නම් දැනෙන්නේ මහා වදයක් නේද. කුරුලෑ හැදෙන්න බලපාන ප්‍රධාන හේතු විදිහට ස්නේහස්‍රාවී ග්‍රන්ථවල ක්‍රියාකාරිත්වය නිසා සම මතුපිටට පැමිණෙන ස්නේහස්‍රාවී ද්‍රව්‍ය සමේ ඇතිවන ඝනකම් හේතුවෙන් සම මතුපිටට පැමිණීමට නොහැකිව අවහිර වීම තුළින් හා හෝමෝනවල ක්‍රියාකාරිත්වය නිසා වන බවට දක්වන්න පුළුවන්. ඒ වගේම අපේ නොසැලකිලිමත් බව නිසාවෙන් කුරුලෑ ඇතිවෙන්න පුළුවන්.

ප්‍රමිතියෙන් තොර ආලේපන වර්ග භාවිතය, තෙල් ආහාර අධිකව ගැනීම, ක්ෂණික ආහාර වර්ග ගැනීම, අධික ලෙස චොකලට් කෑම, නින්ද අඩුකම, සිරුර උෂ්ණාධික වීමත් මීට බලපානවා. කුරුලෑ වර්ග කිහිපයක් තියෙනවා. කළු හෝ සුදු හිස සහිත බිබිළි මේ අතරින් බහුලයි. පුරාණ වෙද පොත්වල එන, ළඳුන් නිතර භාවිත කරමින් සුන්දරව ගත කළ අත්දුටු බෙහෙත් ඕනෑ තරම්. ඒවා හරිම ඔෟෂධීය ගුණයෙන් පිරිපුන්. බයක් වෙන්න දෙයක් නෑ. ඉන් බිඳක් මෙහෙමයි. කොහොඹ දලු, අමුකහ, සුදුහඳුන් තැම්බූ ජලයෙන් මුහුණට වාෂ්ප ඇල්ලීම ඉතා ගුණදායක දෙයක්.

මින් සමේ රෝම කූප විවර වෙලා එහි තැන්පත්ව තියෙන අපද්‍රව්‍ය ඉවත් වේවි. ඉන් පසු පිපිඤ්ඤා යුෂ මුහුණේ ආලේප කිරීම හොඳයි. ඒ වගේම කොත්තමල්ලි, වදකහ, ගොක්සුබුළු ඇල් දියෙන් අඹරා ගාන්න. ගෝරෝචන හා කලාඳුරු අල තන කිරෙන් අඹරා ගෑමත් ගුණයි. එසේම ලොත්සුඹුළු, කොත්තමල්ලි, වදකහ සමව ගෙන උණු වතුරෙන් අඹරා ගෑමත් ප්‍රතිඵලදායකයි. කුරුලෑ කැළැල් මැකී යෑමටත් එදා බෙහෙත් තිබුණා. එළකිරි සහ දෙහි ඇඹුල් සමව ගෙන වැල්මදට, වියළි කහ කුඩු, වෙනිවැල්ගැට කුඩු, සම සමව ගෙන පාප්පයක් මෙන් සාදා මුහුණේ ආලේප කර විනාඩි 20කට පසු ඇල්දියෙන් සෝදන්න.

සතියකින් ප්‍රතිඵල දැනේවි. කුරුලෑ සිදුරු ගොඩ වීමටත් බෙහෙත් තියෙනවා. ඔළිඳ කොළ, සුදු හඳුන්, හා කලාඳුරු අල එක පමණට ගෙන තල තෙලින් අඹරා ගාන්න. එසේම සියඹලා පොතු, විනාකිරෙන් අඹරා ගෑමත් ප්‍රතිඵලදායකයි. තවද කුඹුක් ඇට මද, මදටිය ඇට මද, එළකිරෙන් අඹරා ගාන්න. ඉඹුල් ගහේ ගැට සහිත කොටස එළකිරෙන් අඹරා ගාන්න. ලොත්සුඹුළු, කොත්තමල්ලි, සහිඳලුණු, අබ, වදකහ ඇල් දියෙන් අඹරා ගාන්න. කළු ලප කැළැල් සඳහා තල, කළුදුරු, සූදුරු, අබ, එළකිරෙන් අඹරා ගෑ යුතුයි. එසේම සිවංගුරු, සාදිලිංගම්, කූර තම්පලා, වියළි කහ, වෙනිවැල්ගැට සමව ගෙන කෙසෙල් බඩ යුෂින් අඹරා මුහුණේ ආලේප කරන්න. ගුණ දේවි.

(වෛද්‍ය මෘතය ඇසුරෙනි.)
සුභානි එම්. ආරච්චිගේ

The post කුරුලෑ නැතිකර කැළැල් මකා සිදුරු ගොඩකරවන අත්දුටු සත්කාර appeared first on මව්බිම.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here