හිටපු නාවික හමුදාපතිවරයෙකු අසාධ්‍ය ඉන්ෆ්ලුවන්සා තත්ත්වයක් හේතුවෙන් ඉකුත් සිකුරාදා (ඔක්. 28) පෙරවරුවේ ගුවන් මගින් ජාතික රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකය වෙත රැගෙන එනු ලැබ ඇත.
ඔහු හෙලිකොප්ටරයකින් එහි ගෙනැවිත් ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුර තුළ පිහිටි රෝහලේ සිට යැයි නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු රෝගාතුරව වැලිසර කඳවුර වෙත ගෙනෙන ලද්දේ ත්‍රිකුණාමල නාවික කඳවුරේ සිට බවත් ඔහුගේ තත්ත්වය බරපතළ බව ත් එම ආරංචි මාර්ග පවසයි.
මහත් ආන්දෝලනාත්මක චරිතයක් වූ මෙම හිටපු නාවික හමුදාපතිවරයා ජාතික රෝහලට ඇතුළත් කිරීම පිළිබඳ තොරතුරු කිසිවක් මාධ්‍යයට හෙළි නොකරන ලෙස රෝහල් බලධාරීන් එහි කාර්ය මණ්ඩලවලට දැනුම් දී ඇතැයි ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ය.
ඔහුගේ තත්ත්වය පිළිබඳව විමසීමට ජාතික රෝහල ඇමතූ අවස්ථාවේ එහි ප්‍රකාශකයකු කියා සිටියේ, එම රෝගියා පිළිබඳ තොරතුරු පිටතට නොදෙන්නැයි වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රධානියා එහි කාර්ය මණ්ඩලයට හා රෝහල් බලධාරීන්ට දන්වා ඇති බැවින් තොරතුරු ලබාදිය නොහැකි බව ය.






