Home Local News Room : අලුත්  බද්දට එරෙහිව පෙත්සමක්

News Room : අලුත්  බද්දට එරෙහිව පෙත්සමක්

4
0

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතේ ව්‍යවස්ථාපිතභාවය අභියෝගයට ලක්කරමින් ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (27දා) ගොනු කෙරිණි. ප්‍රමුඛ පෙළේ ඇඟලුම් නිෂ්පාදන ආයතනයක සාමාන්‍යාධිකාරි උතුල සුරංග රණවීර විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VI පරිච්ඡේදයේ දක්වා ඇති පරිදි රාජ්‍ය ප්‍රතිපත්ති සහ රාජ්‍යයේ මූලික රාජකාරි පිළිබඳ නියෝග මූලධර්මවලට පටහැනි බව පෙත්සම්කරු සඳහන් කර ඇත.

අපේක්ෂිත සංශෝධන මඟින් ‘ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය’ ඇතුළුව ශ්‍රී  ලංකාව විසින් අනුමත කරන ලද ජාත්‍යන්තර සම්මුතීන්ද උල්ලංඝනය වන බව පෙත්සම්කරු සඳහන් කළේය.

තවද එම පනත් කෙටුම්පතේ 15, 16, 22, 29, 36 සහ 39 වගන්ති මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4(d), 9, 12(1), 12(2) සහ 14(1) (e), (f), (g) යන වගන්ති උල්ලංඝනයක් සිදුවෙන බවට පෙත්සම්කරු සඳහන් කර තිබේ. 

මෙම සංශෝධන පනත් කෙටුම්පත මඟින් පුරවැසියන් ගෙවීමට ඇති හැකියාවෙන් ඔබ්බට බදු ගෙවීමට යටත් වන බවත් අපනයන අධෛර්යවත් වන අතර දේශීය කර්මාන්ත හා ව්‍යාපාරවල වර්ධනය, සංවර්ධනය සහ ව්‍යාප්තිය යටපත් කරන බවටද පෙත්සම්කරු සඳහන් කළේය.

මෙම සංශෝධන මඟින් ජනතාවගේ සහ රටේ ආර්ථික ස්වෛරීභාවය උල්ලංඝනය වන බවත් ගෙවීමට ඇති හැකියාවෙන් ඔබ්බට බදු ගෙවිය යුතු බැවින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පෙත්සම්කරු සඳහන් කළේය.

 එබැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත වී ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරනු ලැබුවහොත් මිස සම්පූර්ණ පනත් කෙටුම්පත හෝ එහි යම් වගන්ති නීතියක් බවට පත්විය නොහැකි බව පෙත්සම්කරු එමඟින් ප්‍රකාශ කරයි.

ෆාදිලා තාසිම්

The post අලුත්  බද්දට එරෙහිව පෙත්සමක් appeared first on මව්බිම.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here