මහනුවර මහ නගර සභාවේ හා රජයේ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ සහය ලබා ගනිමින් ගන්නෝරුව මහවැලි, හක්කිඳ දූපත් ආශ්රිත අධිආරක්ෂිත පාරිසරික කලාපයේ ඉඩම්වලට බලවත් ව්‍යාපාරිකයින් ව්‍යාජ ඔප්පු සකස් කර ඇතැයි මධ්‍යම පරිසරය සුරැකීමේ එකමුතුවේ කැඳවුම්කරු එස්. පී. ලියනාරච්චි පවසයි.
මෙම පාරිසරික කලාපය දිනෙන් දින විනාශයට ලක්වෙමින් තිබෙන බවත් එයට මහනුවර මහ නගර සභාවේ ඇතැම් නිලධාරීන් ඍජුව වගකිව යුතු බවත් හෙතෙම සඳහන් කළේ ය.
මහනුවරදී ඊයේ (ඔක්. 26) පැවති මාධ්‍ය හමුවකදී ලියනාරච්චි මේ බව පැවසීය.
මේ බව තහවුරු කිරීම පිණිස අවශ්‍ය ලිපි ලේඛන සියල්ල තමන් සතු බව ත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් හැකි නම් නෛතික පියවර ගන්නා ලෙස තමන් මහනුවර මහ නගර සභාවට හා අදාළ රාජ්‍ය නිලධාරීන්ට අභියෝග කරන බවත් හෙතෙම අවධාරණය කළේ ය.
හන්තාන හා මහවැලි ගඟ ආශ්‍රිතව විශාල පරිසර හානියක් සිදු කරමින් සිදු කරන අනවසර ඉදිකිරීම් හා ගොඩ කිරීම් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබූ බොහෝ නඩුකරයන් ඉහළ නිලධාරීන්ගේ බලපෑම් මත ඉවත් කර ගැනීමේ සූදානමක් ඇතැයි මෙහිදී අදහස් පළ කළ මධ්‍යම කඳුකරය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු අමිත් සේනානායක මහතා පවසයි.
මහනුවර වරාතැන්න හක්කිඳ දූපත් ආශ්රිත ප්‍රදේශයේ මේ වන විට සිදු කෙරෙමින් පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ ක්‍රියාවලියට ද මේ වන විට විවිධ පාර්ශ්ව වෙතින් බලපෑම් එල්ල වෙමින් තිබෙන්නේ යැයි ඒ මහතා කීය. හන්තාන කළමනාකරණ කමිටුවේ සභාපතිවරයාද මේ වන විට ප්‍රශ්නවලින් කරඅරින ස්වභාවයක් පෙනෙන්ට ඇතැයි ද ඔහු පැවසීය.
තවදුරටත් අදහස් පළ කළ සේනානායක මහතා මෙසේ ද කීය.
“මහවැලි ගංගාව ආශ්‍රිතව පේරාදෙණිය සිට මහනුවර දක්වා විශාල වශයෙන් අනවසර ඉදිකිරීම් තියෙනවා. අපි මේවා පෙන්නලා නඩු දාලා තියෙනවා. ඒ වගේ ම හන්තානේ අධිරක්ෂිත කලාපයේ වගුරු බිමක් ගොඩ කරලා හෝටලයක් හදනවා. නාවලපිටියේ ව්‍යාපාරිකයෙක් රජයේ ප්‍රබල දේශපාලනඥයෙක්ගේ සහය ඇතිවයි මේක කරන්නේ.
ඒ දේශපාලනඥයාගේ මැදිහත්වීම මත මේ නඩු ඉවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය දැන් කටයුතු කරමින් ඉන්නවා. නඩු ඉවත් කරන්න කැමතියි කියලා මධ්‍යම පරිසර අධිකාරිය ලියුම් පවා අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. ජාතික පාරිසරික පනතේ නියමයන් හා කොන්දේසි සියල්ල උල්ලංඝණය කරමින් තමයි මේ සියල්ල සිදු වෙන්නේ. නමුත් පරිසර අධිකාරිය හා වගකිව යුතු රාජ්‍ය ආයතන සියල්ල දැන් නිහඬයි. මධ්‍යම පරිසර අධිකාරියේ මහනුවර කාර්යාලය විසින් පවත්වා ගෙන යන මෙවන් අධිආරක්ෂිත කලාප ආශ්රිත ගොඩනැගිලි ඉදිකිරීමේ නඩු ඉවත්කර ගැනීමට අවශ්‍ය උපදෙස් පවා දැන් ලබා දී තිබෙනවා.
මෙවන් දූෂිත ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් තියෙන අවම ලන්සුව රුපියල් මිලියන හයක් බව අපි කියනවා. ඒක අවම ලන්සුව නම් අනිත් ගැහිලි කොහොම ද කියලා හිතන්න පුළුවන්. මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති නකල්ස් රක්ෂිතයේ හෝටලයක් හදනවා. ඒකට පාරවල් කපලා මහා විනාශයක් කරලා තියෙනවා. අපි මේ ගැන ප්‍රශ්න කරන කොට එයා දුන්න පිළිතුර තමයි මම නීතිය දන්නේ නැති නිසා මේ හෝටලය හදන්න පටන් ගත්තා කියන එක.”
මෙම මාධ්‍ය හමුව ඇමතූ මධ්‍යම පරිසර සංරක්ෂණ එකමුතුවේ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා මහතා කියා සිටියේ, මෙම සියලු පාරිසරික විනාශය සම්බන්ධයෙන් තමා නිරන්තරයෙන් පාර්ලිමේන්තුවේදී හඬක් නැඟූ බව ය.
“අද මහනුවර ගන්නෝරුව හක්කිද මහවැලි පාරිසරික ආරක්ෂිත කලාපය ආක්‍රමණය කරමින් විශාල වශයෙන් අනවසර ඉදිකිරීම් වෙනවා. මහවැලි ගඟ මැද පවා ඉදිකිරීම් සිදු කරලා තියෙනවා. හන්තාන පාරිසරික කලාපයේ මහා වන විනාශයක් කරමින් ඉදිකිරීම් කරනවා. ඒ වගේ ම නකල්ස් රක්ෂිතයේ මහා පාරිසරික විනාශයක් කරමින් ඉදිකිරීම් කරනවා. මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති තමයි නකල්ස් රක්ෂිතයේ මේවා කරන්නේ.
දේශපාලනඥයන්ගේ උදවු මත රාජ්‍ය ආයතනවලට අල්ලස් දීලා මේ කරන පරිසර විනාශය නැවැත්තුවේ නැත්නම් ඉදිරියේදී බොන්න වතුර ටිකක්වත් හොයාගන්න වෙන්නේ නෑ. මේ මහා පරිසර විනාශයට උදවු කරන්නෙත් මධ්‍යම පරිසර අධිකාරිය හා රාජ්‍ය ආයතන. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද මේ අවනඩුව කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මේ සම්බන්ධයෙන් ගන්න පුළුවන් උපරිම පියවර අපි ගන්නවා.”






