මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිණි ප්‍රියමාලි නමැත්තියගේ පෙම්වතා බව කියන ඉසුරු ධම්මික බණ්ඩාර පදිංචි මහනුවර පිළිමතලාවේ නිවෙසක ඔහුගේ කාමරයේ තිබී එකක් කිලෝවක් බරැති රන් පොලු 8ක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ හැකි විය.
ඒ, ඉසුරු බණ්ඩාර නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංක II නිලධාරීන්ට දුන් ප්‍රකාශයක් ඔස්සේ කරන ලද විමර්ශනයකට අනුව ය.
එම විමර්ශනයට අනුව වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට කරුණු වර්තා කිරීමෙන් අනතුරුව ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව එම අංශයේ කණ්ඩායමක් ඊයේ (ඔක්. 26) උදෑසන මහනුවර පිළිමතලාවට ගොස් එම රන් පොලු අට සොයාගෙන තිබිණි. එම රත්තරන් පොලු ඉසුරු භාවිත කළ කාමරයේ තිබී ඇත. ප්‍රියමාලි විසින් රන් පොලු 10ක් තමාට දුන් බවත් එම රන් පොලු තමා විසින් පිළිමතලාව පදිංචි සිය පියා සන්තකයේ තබා තිබූ බව ත් ඔහු රහස් පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබිණි.
පසුව මුදල් අවශ්‍යතාවකට එම රන් පොලු 10න් දෙකක් තමා විසින් විකුණා දැමීමට උත්සාහ කළ බව ත් එහිදී එම පොලු රන් නොව පිත්තල බවට හඳුනාගත් බව ත් ඔහු පවසා තිබිණි.
ව්‍යාපාර කටයුතු සඳහා යැයි කියමින් තිලිණිට රුපියල් ලක්ෂ 5ක් තමා දුන් බවත් ඊට පසු ඇය තමාට ඊට ප්රතිලාභ බව කියමින් ලක්ෂ 10ක් දුන් බවත් ඉන්පසු ව්‍යාපාර කටයුතු බව කියමින් තවත් රුපියල් ලක්ෂ 18ක් ලබා ගත් බවත් එම මුදල ඇය තමාට නොදුන් බවත් ඒ ගැන විමසීමේදී මෙම රන් පොලු 10 තමාට දුන් බව ත් ඔහු රහස් පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබුණේ ය.
කෙසේ වෙතත් එම රන් පොලු 10 තම නිවසේ තබාගෙන තම පියා ඊට වැඳුම් පිදුම් කරමින් සිටි බව ද ඔහු වරෙක රහස් පොලිස් විමර්ශනයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත ඉදිරියේ කීවේ ය.
මේ අතර, ඉදිරි විමර්ශන සඳහා ඉසුරුගේ මව සහ පියා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට නියමිත ය.
සොයාගත් රන් පොලු සත්‍ය ම රත්රන් ද ඒවායේ බර කෙසේ ද යන්න සොයා ගැනීමට එම භාණ්ඩ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
එමෙන් ම ඉසුරු විසින් විකුණා ඇති බව කියන සෙසු රන් පොලු කිලෝ 2ද සොයා ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මහතාගේ අධීක්ෂණය යටතේ වාණිජ අපරාධ විමර්ශන ඒකක (2) නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබිණි.
The post තිලිණිගේ පෙම්වතාගේ ගෙදර ‘රන් පොලු’ අටක් appeared first on මව්බිම.






