“අවස්ථාවාදය යනු හදිස්සියේ ඇතිවූ දෙයක්වත්, වැරදීමකින් ඇතිවූ දෙයක්වත් නැතහොත්, පුද්ගලයන්ගේ ද්‍රෝහිකමක්වත් නොවේ. එය සමස්ත ඓතිහාසික වකවානුවක සමාජ නිපැයුමකි.” එහෙම කියන්නේ ලෙනින්ය.
1935දී මෙරට ප්‍රථම දේශපාලන පක්ෂය හැටියට ලංකා සමසමාජ පක්ෂය පිහිටුවනු ලැබීය. ඒ වෙනකොට රට ඉදිරියේ අභියෝග රැසක් තිබූ අතර ලසසප ඒවාට සාධනීය මැදිහත්වීමක් කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළහ. එහෙත්, එය භේදභින්න වීම්, දෙකඩ වීම්, නැවත පටු අරමුණු මත එක්වීම් හා නැවත නැවතත් භේදභින්න වීම් සහිත ගමනක් පැමිණියහ.
1947 පැවැති මහ මැතිවරණයේ ප්‍රධාන කඳවුරු දෙක වූයේ දක්ෂිණාංශික එක්සත් ජාතික පක්ෂයත්, වමේ ව්යාපාරයත්ය. අසීමාන්තික ලෙස බෙදී වෙන්වී තිබූ වමට සිදුවූයේ පරාජය අත්පත් කර ගැනීම විනා ජයග්‍රහණයක් ගැන සිතීමට නොවේ.
එය මොන තරම් උග්‍ර තැනකට පිවිසුණාද කිවහොත් මැතිවරණයේදී තම අපේක්ෂකයන් තරග නොවදින තැන්වලදී ට්‍රොස්කිවාදය පැරදවීම සඳහා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන ලෙස කොමියුනිස්ට් පක්ෂය ඉල්ලා සිටීය.
1952 මහ මැතිවරණයේදී මුළු ආසන 95න් එජාපය ආසන 54ක්ද බණ්ඩාරනායක අලුතින් පිහිටුවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 9ක්ද, වාමාංශික පක්ෂ වෙන් වෙන්ව ආසන 13ක්ද ලබාගත් නමුත් ශක්තිමත් විපක්ෂයක් වීමේ ඉඩකඩ ඔවුන්ව අහුරා ගත්හ. වම එක් වුණා නම් විපක්ෂ නායක ධුරය ලබා ගැනීමට තිබුණේ නමුත් ඒ වෙනුවට සිදු වුණේ එජාපයෙන් ගිලිහී පැමිණි අලුත් ධනවාදී පක්ෂයේ නායකයා වූ බණ්ඩාරනායකට විපක්ෂ නායකකම යන එකය.
1960 මාර්තු මැතිවරණයේ දී ලංකාවේ ඊළඟ අගමැතිවරයා එවක විපක්ෂ නායකයා වූ ආචාර්ය එන්. එම්. පෙරේරා හෝ මහජන එක්සත් පෙරමුණේ නායක පිලිප් ගුණවර්ධන විය හැකි බවට දේශපාලන අනාවැකි පළ විය. එහෙත් අසමඟිව වෙන්ව තරග කිරීමේ ප්රතිවිපාකය වුණේ ඔවුන් නියෝජනය කළ දේශපාලන පක්ෂය දෙකම පරාජයට පත් වීමය.
ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය මහා පරිමාණයෙන් බෙදී කැබැලි වී යෑමේ සන්ධිස්ථානය වාමාංශික
පක්ෂී 1964 සභාග ආණ්ඩුවට එක් වීමය.
1980 ජූලි වර්ජනයේදීද පැරණි වාම නායකත්වයට හැකි වූයේ 114,000ක් පමණ වැඩ වැරූ කම්කරුවන්ගේ රැකියා අහිමි කරදීම පමණි. ආණ්ඩුවට එරෙහිව විපක්ෂය එකට එකතු කර ගැනීමේ සුවිශේෂී භූමිකාවක් එවරද වමට නොතිබුණු අතර ධනපති ආණ්ඩුව එය නිසි සේ ප්‍රයෝජනයට ගත්හ.
සිදුවුණේ කම්කරුවා පාවාදීමට ලක්වීම පමණි.
1983දී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමේ පටන් 1988/90 දක්වා මර්දනකාරී ක්‍රියා පිළිවෙත වෙත පැරණි වම ආණ්ඩුවට ලබාදුන් නිහඬ ආශිර්වාදය අතිශයින් බලවත් විය.
ජනතා විමුක්ති පෙරමුණ බිහි වන්නේ ඔය අතරය. එය සටන්කාමී මුහුණුවරක් ගත් දේශපාලන ව්‍යාපාරයක් වූ අතර පාර්ලිමේන්තුවට ඒ පිටින් සිට බලය ලබාගැනීම පිළිබඳව දැඩි අපේක්ෂාවක් ඔවුන් තුළ විය.
ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වූ රෝහණ විජේවීර කරළියට පැමිණියේ එන්. ශන්මුගදාසන්ගේ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලෙනි.
පසුව ඔහු ජනතා විමුක්ති පෙරමුණ පිහිටුවා ගත්තේය.
1971 කැරැල්ලෙන් පසු ජනතා විමුක්ති පෙරමුණද යළි කණ්ඩායම් කිහිපයකට කැඩුණි.
හැමදාම ජනතා විමුක්ති පෙරමුණ සෙසු දේශපාලන පක්ෂවලට චෝදනා එල්ල කරන්නේ එම දේශපාලන පක්ෂවලට තිරසාර ප්‍රතිපත්තියක් නැති බවත් එහි සිටින නියෝජිතයන් එහෙට මෙහෙට පනින බවත් කියමින්ය.
නමුත් ඇත්ත වශයෙන්ම ජනතා විමුක්ති පෙරමුණටද ඒ චෝදනාව එහෙම පිටින්ම වලංගුය.
කැරැල්ලට පෙරම ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ ජී. අයි. ඩී. ධර්මසේකර මාතෘභූමී ආරක්ෂක පෙරමුණ බිහි කර ගත්තේය.
ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වූ විමල් වීරවංශ ජාතික නිදහස් පෙරමුණ ආරම්භ කළ අතර ඔහු සමඟ විශාල මන්ත්‍රිවරු පිරිසක් එක් වූහ. එය ඉන් නොනැවතී, කුමාර් ගුණරත්නම් නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජවිපෙන් කැඩීගොස් ගොඩනැඟුණ දේශපාලන පක්ෂයක් බිහිවිය.
ජනතා විමුක්ති පෙරමුණ ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවලදී තෝරා බේරා ගත් දේශපාලන උපාය උපක්‍රම සහමුලින් අසාර්ථක විය. 71 කැරැල්ල ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන නොමේරූ බව මනාව පිළිබිඹු වන්නක් වූ අතර, විජේවීර හිරෙන් නිදහස් වී පැමිණි පසු පැවැති පළමු ජනාධිපතිවරණයේදී පවා ඔහුට හිමි කරගත හැකිවූයේ ඡන්ද 273, 428ක්, සියයට 4.19ක් පමණි.
1988 දෙසැම්බර් 19 වැනි දින පැවැති ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ සිදුකළේ සන්නද්ධ පන්නයේ බලපෑමකි. එහි බරපතළ ඛේදවාචකය වුණේ එතෙක් පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමට තිබුණු අවස්ථාව අහිමි වීමය.
1994 ජනාධිපතිවරණයේදී ජ.වි.පෙ, පොදුජන එක්සත් පෙරමුණට සහාය දී ජනාධිපතිවරණයෙන් ඉවත් විය. එහෙම ඉවත් වුණා කියා ඔවුන්ට ජනාධිපති ධුරය අහෝසි කර ගන්නට තියා එහි අඟලක්වත් වෙනස් කරගන්නටද නොහැකි විය.
තමන් වෙත ලිඛිතව දුන් පොරොන්දුව කඩ කළ බව දැන දැනම ජනතා විමුක්ති පෙරමුණ අවසාන යුගයේදී චන්ද්‍රිකා ආණ්ඩුව සමඟ පරිවාසයකට එක්විය.
1999 දෙසැම්බර් 21දා පැවැති ජනාධිපතිවරණයේදී, නන්දන ගුණතිලකට ලබාගත හැකි වුණේ ඡන්ද 344,173ක් හෙවත් ප්‍රතිශතයක් ලෙස සියයට 4.08ක් පමණි.
2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒම වෙනුවෙන් විශාලම කාර්යභාරය ඉටු කළේ ජනතා විමුක්ති පෙරමුණය.
අද ඔවුන් උනුත් එකයි මුනුත් එකයි යනුවෙන් මොනතරම් කෑ ගැසුවද උනුත් මුළු බලයට ගෙන ඒම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉතාම තීරණාත්මක කාර්යභාරයක් ඉටු කොට තිබේ.
චන්ද්‍රිකාගේ ආණ්ඩුව තුළ ඇමති ධුර හතරක් දරූ ජනතා විමුක්ති පෙරමුණ 2005දී මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට කටයුතු කළේ ඔහුට සුනාමි චෝදනාව පවා එල්ලවී තිබියදීය. රාජපක්ෂ රෙජිමයට දශකයකට වැඩි කලක් මේ රට මෙරට සිය ග්‍රහණයට ගන්නට ඉඩකඩ සැලසීමේ පුළුල් කාර්යභාරයක් ජනතා විමුක්ති පෙරමුණද ඉටු කළේය.
2010 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී විපක්ෂයේ අපේක්ෂකයාවූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට සහාය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කළේ මහින්ද රාජපක්ෂට එරෙහි බලවේගයක් ලෙසිනි.
ඒ වන විට ජනතා විමුක්ති පෙරමුණෙන් විමල් වීරවංශ ඇතුළු ඇතුළු විශාල කණ්ඩායමක් ඉවත්වී අවසන්ය. විමල් යනු ජනතා විමුක්ති පෙරමුණේ සිටි ප්රචාරක ලේකම්වරයාය. අනෙක් පක්ෂවලද මහලේකම්වරු පක්ෂ මාරු කොට ඇති අතර ජනතා විමුක්ති පෙරමුණටද ඒ චෝදනාවෙන් ගැලවෙන්නට බැරිය.
ප්‍රධාන පක්ෂ දෙකේ ජනාධිපති අපේක්ෂකවරු පක්ෂ මාරු කළ අවස්ථා ඉතිහාසයේ දුර්ලභය. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයකු ලෙස සිටි නන්දන ගුණතිලක විමල්ට කලින් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වූ අතර, පසුව ඔහු විමල් ළඟටද, අනතුරුව එක්සත් ජාතික පක්ෂයට ද එක්විය.
රෝහණ විජේවීරගෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ වැඩිම කාලයක් නායකත්වය දැරූ අසහාය පන්නයේ නායකයා වූයේ සෝමවංශ අමරසිංහය.
හැබැයි අනුර දිසානායක පක්ෂයේ නායකයා වී මාස කිහිපයක් යනවිට සෝමවංශ නැවතුනේ මහින්ද රාජපක්ෂ ළඟය.
අනෙක් පක්ෂවල පාරිශුද්ධ බව සොයන ජ.වි.පෙ. ඉතිහාසයද පාරිශුද්ධ නැත.වගකීම් විරහිත දේශපාලන ළදරුකම් ඔවුන්ද අපමණ සිදුකොට තිබේ.මෑත ඉතිහාසය ගත් විට සියලු දේශපාලන පක්ෂ පාහේ තමන්ගේ වගකීම ඉතාමත්ම අවාසනාවන්ත ලෙස පැහැර හැර ඇත.සමගි ජන බලවේගයට, යූ.එන්.පියට, පොහොට්ටුවට, ජ.වි.පෙ.ට යනාදී සියල්ලට එය වලංගුය.හැත්තෑ හතේ මහ මැතිවරණයෙන් පස්සේ මේ රටේ වම සේදී ගියේය.ඉන් අනතුරුව සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ දෙකේ මතවාදයන් ඒ පක්ෂ දෙකටත් වඩා හොඳින් කර තබා ගෙන ගියේ වම නියෝජනය කරමින් පැමිණි දේශපාලන නියෝජිතයන්ය.
අද ජනතා විමුක්ති පෙරමුණට විශාල රැල්ලක් තිබේ. හැබැයි ඒ රැල්ල මැතිවරණයේ දින ඡන්ද පෙට්ටි අසලදී භාවිත වන්නේ නැත. දශක 6කට වැඩි කාලයක් තිස්සේ අත්දුටු ප්රත්යක්ෂය එයයි.
“මේ වෙනකොට ජ.වි.පෙ.ට ලොකු රැල්ලක් තියෙනවා.”
කියලා කියන බොහෝ දෙනා ඉක්මන් නොවිය යුත්තේ ඉතිහාසයේ එහෙම රැලි තිබූ බොහෝ අවස්ථාවල පුංචි පුංචි කාරණාවලටත් ඔය රැලි අනිත් පැත්ත ගහපු බව දන්න නිසාය.
මේඝනාද






