විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අමු අමුවේ උල්ලංඝණය කරමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා එක්දින පුහුණුවක් කෑගල්ලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් (පාලන) විසින් එම දෙපාර්තමේන්තුවේ සියලු දෙනා අමතමින් සිය අත්අකුරින් ම ලියන ලද සටහනක් මගින් මෙම පුහුණුව පිළිබඳ දැනුම් දී ඇත.
කෑගල්ල, සණස කැම්පස් ආයතනයේදී 2022 නොවැම්බර් 11 වරුවක් හා 12 දින එක්දින නේවාසික පුහුණුවක් ලබා දීමට තීරණය කර ඇතැයි ද එයට සහභාගි වීම අනිවාර්ය වන බව ද අතිරේක අධ්යක්ෂ ජනරාල් විසින් යවනු ලැබ ඇති එම සටහනෙහි සඳහන් වෙයි.
පැමිණීම අප වෙත 22-10-26 දින පස්වරු 3.00ට පෙර අංශ ප්‍රධානි මගින් AGD කාර්යාලයේ තනූජා මෙනෙවියට භාරදෙන ලෙස ද දැනුම් දී ඇත.
ප්‍රධාන කාර්යාලවල සිටින නිලධාරීන් දුරබැහැර රාජකාරි සඳහා යාම අවම කිරීම, කොළඹින් පිට කේෂ්ත්‍ර රාජකාරි හැකිතාක් දුරට අදාළ ප්‍රදේශයේ දිස්ත්‍රික් ලේකම්/ප්‍රාදේශීය ලේකම් හා එම අදාළ දිස්ත්‍රික්/පළාත් නිලධාරීන් ලවා ඉටුකර ගත යුතු බව අංක 04/2022 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මගින් නියෝග කර ඇත. රැස්වීම් හා සාකච්ඡා හැකිතාක් දුරට Zoom, Teams වැනි තාක්ෂණික ක්‍රම යොදාගෙන ක්‍රියාත්මක කරන ලෙසට ද එම චක්‍රලේඛය මඟින් නියම කර ඇත.
2022 මාර්තු 7 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණයකට අනුව එම චක්‍රලේඛය නිකුත් කර තිබිණි.
අතිරේක අධ්යක්ෂ ජනරාල් විසින් පැමිණීම අනිවාර්ය කරමින් නිකුත් කරනු ලැබ ඇති එම සටහනට අනුව දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 200කට අධික පිරිසකට මෙම පුහුණුවට යාමට සිදුව ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වනවිට දෙපාර්තමේන්තුව දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණදී ඇතැයි ද ඉන්ධන ලබාගෙන ඇති පිරවුම්හලට බිල්පත් නොගෙවීම නිසා ඉන්ධන ලබා දීම අත්හිටුවා ඇති විදුලි බිල්, ජල බිල්, ගෙවීමට ඇති ඉන්ටර්නෙට් පහසුකම් අත්හිටුවා ඇති පසුබිමක චක්‍රලේඛ උල්ලංඝණය කරමින් මෙවැනි පුහුණුවක් කෑගල්ල ප්‍රදේශයට නිලධාරීන් රැගෙන ගොස් පවත්වන්නේ කාගේ අවශ්යතාවකටදැයි සේවකයෝ ප්‍රශ්න කරති.