කරවිල අප සියලු දෙනා ආහාරයට ගන්නට අකැමැති එක් එළවළු වර්ගයකි. එයට හේතුව එහි දරාගත නොහැකි තිත්ත රසය නිසයි. නමුත් මෙම එළවළු ඔබට ලබා ගත හැකි සෞඛ්‍ය සම්පන්න ආහාරයකි. තිත්ත කරවිල යනු ස්කොෂ් පවුලේ සාමාජිකයෙකි. එය පොදුවේ හැඳින්වෙන්නේ බෝල්සම් පෙයාර් හෝ කරෙලා ලෙස වන අතර ආසියාව, දකුණු ඇමරිකාව, කැරිබියන් සහ නැඟෙනහිර අප්‍රිකාවේ බහුලව කරවිල වගා කෙරේ. කෙසේ වෙතත්, මේ කරවිල සෞඛ්‍යමය වාසි රැසක් ලබා දෙයි
– දියවැඩියාව පාලනය කරයි.
– සිරුරේ බර අඩු කිරීමට ආධාර කරයි.
– අක්මාව ප්‍රවර්ධනය කරයි.
– මලබද්ධයට සහනයකි.
– සමේ රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කරයි.
– පිළිකාවට එරෙහිව සටන් කරයි.
Bitter Gourd moju
කරවිල මෝජුවක්
අවශ්‍ය ද්‍රව්‍ය
– කරවිල ගෙඩි 2-3ක්
– ලොකු තක්කාලි ගෙඩියක්
(වෙජස් ආකාරයට කැපූ)
– රතුලූනු ගෙඩි කිහිපයක්
– අමු මිරිස් කරල් 4ක් (දික් අතට කපාගත්)
– මාළු මිරිස් කරල් 2ක් (දික් අතට කපාගත්)
– ඉඟුරු ස්වල්පයක් (සිහින්ව කපාගත්)
– සුදුලූනු බික් 3ක් (සිහින්ව කපාගත්)
විනාකිරි – 1tsp
අබ ක්‍රීම් – 1/2tsp
– කුඩා හකුරු කැබැල්ලක්/සීනි
– තක්කාලි සෝස් – 2tbsp
– අඹ චට්නි – 1tbsp
– එළවළු තෙල්
– ලුණු, ගම්මිරිස් පදමට
සාදාගන්නා ආකාරය
පළමුව කරවිල ගෙඩි ටික හොඳින් සෝදා ගෙන දෙකට කපා එහි ඇට ඉවත් කර ගන්න. පසුව එය අර්ධ කවාකාර හැඩයට සිහින්ව කපා ගන්න. පසුව කපාගත් කරවිල ලුණු මිශ්‍ර ජලයේ මඳ වේලාවක් තිබෙන්නට හැර හොඳින් මිරිකා ගන්න. මෙයට කහ කුඩු ස්වල්පයක් එකතු කරගැනීම වැදගත් වේ.
මෙහි ජලය හොඳින් ඉවත් වන්නට ඉඩහැර ගැඹුරු තෙලේ රන්වන් පැහැය එනතුරු බැදගන්න. තෙල් බේරෙන්නට හරින්න.
පසුව මෙහි සඳහන් මිශ්‍රණය සාදා ගැනීම සඳහා භාජනයකට තෙල් ස්වල්පයක් එකතු කර කපා ගත් ඉඟුරු, සුදුලූනු සහ ලුණු එකතු කර සෝතෙ කරගන්න. පසුව මෙයට පිළිවෙළින් හකුරු, අඹ චට්නි, අබ ක්‍රීම්, තක්කාලි සෝස් සහ විනාකිරි එකතු කර සෝස් එකක් ආකාරයට සකසා ගන්න.
පසුව මෙයට කපාගත් අමු මිරිස්, මාළු මිරිස් සහ තක්කාලි එකතු කරගන්න. මේ සමඟ පදමට ලුණු සහ ගම්මිරිස් එකතු කරගන්න. හොඳින් කවලවම් කර මෙයට බැදගත් කරවිල ටික එකතු කර එයද හොඳින් කවලම් කර රස බලන්න ඔබ කැමැති ආකාරයට රස විඳින්න.
Bitter gourd Juice
කරවිල පානය
අවශ්‍ය ද්‍රව්‍ය
– කරවිල ගෙඩියක්
– දෙහි ගෙඩියකින් කුඩා කැබැල්ලක්
– ජලය – 1cup
– ලුණු – 1/4tbsp
සාදාගන්නා ආකාරය
පළමුව කරවිල ගෙඩිය (සාමාන්‍ය ගෙඩියක්) හොඳින් සෝදගන්න. පසුව හැන්දක් ආධාරයෙන් එහි ඇට ඉවත් කර ගන්න.
පසුව එය කුඩා කැබලිවලට කපාගන්න. ලුණු සහිත ජලයේ විනාඩි 15-20ක් ගිල්වා තබන්න.
පසුව එහි ජලය පෙරා ඉවත් කර ගන්න. බ්ලෙන්ඩරයක් ආධාරයෙන් එයට ජලය සහ කහ එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. පසුව එයට දෙහි යුෂ එකතු කර හොඳින් කලවම් කර පානය කරන්න.
(ඔබට මෙහි තිත්ත ගතිය අඩු කර ගැනීම සඳහා කරවිල ගෙඩියේ පොත්ත මඳක් ඉවත් කර ගත හැකිය. තවද ඝනත්වය අඩුකර ගැනීමට අවශ්‍ය නම් තව ජලය එකතු කරගත හැකිය.)
Pickled Bitter Gourd
කරවිල අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය
– කරවිල – 2-3
– ජලය – 1cup
– විනාකිරි – 1cup
– සීනි – 2tbsp
– ලුණු – 1tsp
– ගම්මිරිස් (කෑලි සහිත) – 1/2tsp
– ඉඟුරු කැබැල්ලක් (පොතු ඉවත් කර පෙති කපාගත්)
සාදාගන්නා ආකාරය
පළමුව කරවිල ගෙඩි හොඳින් සෝදා ගන්න. පසුව එහි පොත්ත සහ ඇට හැන්දක් ආධාරයෙන් ඉවත් කර ගන්න. අර්ධ කවාකාර හැඩයට මඳක් ලොකුවට කපාගන්න.
කපාගත් කරවිල ලුණු සහිත ජලයේ විනාඩි 10-15ක් පෙඟෙන්නට හරින්න. අනතුරුව එහි ජලය පෙරා ඉවත් කර ගන්න. මේ සමඟ භාජනයකට ජලය ස්වල්පයක් එකතු කර රත් කර ගන්න. පසුව කපාගත් කරවිල නටන ජලයේ තත්පර 25-30ක් බ්ලාන්ච් කරගන්න. පසුව එය අයිස් කැට සහිත ජලයට ඉවත් කර ගන්න (කොළ පැහැය රැක ගැනීම සඳහා). පසුව එහි ජලය පෙරා ඉවත් කර ගන්න.
පිකල් දිය කර සාදාගැනීම සඳහා භාජනයකට ඉහත සඳහන් කළ ජලය, විනාකිරි, සීනි, ලුණු, ඉඟුරු කැබලි සහ ගම්මිරිස් එකතු කර මඳ වේලාවක් රත් කර ගන්න. එය හොඳින් බුබුළු දමමින් රත්වන විට ළිපෙන් ඉවත් කර ගන්න. (ඔබේ රස අනුව සීනි සහ ලුණු එකතු කරගත හැකිය.)
මඳ රස්නයේදී පෙර සකසාගත් කරවිල කැබලි මෙයට එකතු කර සෙමින් නිවෙන්නට හරින්න… රස බලන්න. ඔබේ ආහාර වේලට එකතු කරගන්න. පසුව මෙය වීදුරු බෝතලයක් තුළ ගබඩා කිරීමෙන් කාලයක් තබාගත හැකිය.
විධායක සූපවේදී මධුශංක කළුපහන






