22 සංශෝධනයට කවුරුත් ඡන්දය දිය යුතුයි: රනිල් වේවැල අතට ගනී
පොහොට්ටු මන්ත්‍රි පිරිසක් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය දෙන්නට සූදානම් වුවත් පසුගිය සඳුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ එම සංශෝධනය ඉදිරිපත් කොට සම්මත කරගත යුතු බවත් සියලු දෙනාම එයට සහයෝගය දැක්විය යුතු බවත්ය.
පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රි සංඛ්‍යාව වැඩි බව රටේ සිවිල් සංවිධාන, දේශපාලන සංවිධාන, තරුණ සංවිධාන වැනි පොදු සංවිධාන මන්ත්‍රි සංඛ්‍යාව අඩු විය යුතු බවට අදහස් හා යෝජනා ඉදිරිපත් කරමින් තමා වෙත ලිපි රාශියක් ලැබී තිබෙන බවද මෙහිදී ජනාධිපතිවරයා අනාවරණය කර තිබේ.
පළාත් පාලන ආයතන නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේදී තරුණ තරුණියන් වෙනුවෙන් සියයට 35ක ප්‍රතිශතයක් ලබාදිය යුතු බව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ යෝජනා කර ඇති අතර එයට සෙසු ඇමැතිවරුන්ගේද එකඟත්වය ප්‍රකාශ වී තිබේ.
ජනපති ප්‍රේමදාසගේ තරුණ අසහන කොමිසම
පාර්ලිමේන්තුව ඇතුළු ජනතාව නියෝජනය කරන දේශපාලන ආයතනවල තරුණ නියෝජනත්වය වැඩි කළ යුතු බවට තීරණය වූයේ 1992දී හිටපු ජනපති ආර්. ප්‍රේමදාස විසින් පත් කරන ලද තරුණ අසහන කොමිසමෙනි. එහි සභාපති ලෙස කටයුතු කළේ ලක්ෂ්මන් ජයතිලකයි.
එම කොමිසමෙන් තරුණ අසහනයට එක් පිළියමක් ලෙස තරුණ තරුණියන්ට මහජන නියෝජිත ආයතනවලට සියයට 25ක ප්‍රතිශතයක් යෝජනා කර ඇතත් වසර 30ක් එම කොමිසමට කාලය ගෙවී ඇතත් එම නිර්දේශ අදටත් නිසි ලෙස ක්‍රියාත්මක වී නැත. අපේ රටේ තරුණ අසහනයට පිළියම් යොදන හැටි එයින්ම පෙනී යයි.
මහින්ද “පොන්නියන්සෙ ල්වම්” බලයි
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති සිය බිරිය වූ ශිරන්ති රාපක්ෂ සමඟ මේ දිනවල ප්‍රදර්ශනය කෙරෙන පොන්නියන් සෙල්වම් චිත්‍රපටය නැරඹීමට ගොස් ඇත.
මහින්දට මෙම චිත්‍රපටය නරඹන්නට විශේෂ ඕනෑකමක් තිබෙන්නට ඇත්තේ ලංකාවේ රජ කළ පස් වැනි මහින්ද රජු සම්බන්ධ වෘත්තාන්තයද එම චිත්‍රපටයට ඇතුළත්ව තිබීම නිසා වෙන්නට ඇත. මනිරත්නම්ගේ මෙම සිනමාපටය ලංකාවටත් සම්බන්ධ නිර්මාණයකි. එය පසුබිම වන්නේ දස වැනි සියවසේ ලංකාවද ආක්‍රමණය කළ චෝල රජවරුන් හා සම්බන්ධ කතා පුවතකි. මෙම චිත්‍රපටයට පාදක වූ නවකතාව රචනා කර තිබෙන්නේ කල්කි ක්‍රිෂ්ණමූර්ති ලේඛකයායි.
හිටපු ජනාධිපති මේ චිත්‍රපටය නැරඹීමට ගිය අවස්ථාවට රාජ්‍ය ඇමැති සුරේන් රාඝවන්ද එක්ව සිට ඇත.
හොඳ පැත්තට පොඩි වෙනසක් තියෙන නිසා 22ට ඡන්දය දෙන බව සජිත් කියයි
සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීමට තීරණය කළහ. එම තීරණ ගත්තේ කොන්දේසි සහිතවය.
මුල සිට ආණ්ඩුවට එරෙහි දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් දේශපාලනයේ යෙදුණු සජබ නායක සජිත් ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට සහාය පළ කිරීම ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මෙම සංශෝධනය දෙස සාපේක්ෂව බැලූ විට 20ට වඩා යම් පොඩි වෙනසක් හොඳ පැත්තට තිබෙන බවයි.
මෙම සංශෝධනය දෙස මුළු ලෝකයම බලා සිටින අතර එය රටට ජාත්‍යන්තරයෙන් ආධාර ලබාදීමේ එක් පුරුකක් වන බවත් එසේ උපරිම ඉලක්කය සම්පූර්ණ නොවුණත් බංකොලොත් රට තවත් බංකොලොත් කරන්න සූදානම් නැති බවත් විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට තිබිණි.
22 පරාජය කරන්න බැසිල් සාගර ලවා ගේමක
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කර තිබෙන 22 A ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට පක්ෂපාතී මන්ත්‍රි කණ්ඩායම පසුගිය දිනවල විශාල ප්රයත්නයක යෙදී සිටියේය. මේ කණ්ඩායම ඇමරිකාවේ සිට මෙහෙයවන්නේ බැසිල් විසිනැයි දේශපාලන අංශවල දැඩි කතාබහක්ද පවතී. බැසිල්ගේ හිතවතකු ලෙස පෙනී සිටින පොහොට්ටු පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් එළිපිටම 22 ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට මෙහෙයුමක්ද ආරම්භ කර තිබිණි.
පොහොට්ටු මන්ත්‍රිවරු රනිල්ට හොරෙන් රැස්වෙති
මෙම ව්‍යවස්ථා සංශෝධනය පසුගිය සතියේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධානම විෂය බවට පත්ව තිබුණේය. එය කොතරම් දුරකට පත්ව තිබුණේද කිවහොත් ආණ්ඩුවට ගෙවී ගිය සතියේ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීම් දෙකක්ම පවත්වා සාකච්ඡා පැවැත්වීමට සිදුවිය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායමේ එක් රැස්වීමක් පැවැත්වූයේ ජනාධිපති රනිල්ගේ ප්‍රධානත්වයෙනි. ඒ පසුගිය සඳුදාය. එයින් අනතුරුව පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමේ රැස්වීමක්ද පසුගිය 19 වැනිදා පැවැත්විණි. එම රැස්වීම කැඳවා තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙනි. මේ රැස්වීමට රාජ්‍ය නායකයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුවත් කිරීමටවත් කටයුතු යොදා තිබුණේ නැත.
සාගර, සරත් 22ට විරුද්ධව කතා කරති
ජනාධිපති ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ සාකච්ඡාවට ප්‍රධාන මාතෘකාව වී තිබුණේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි.
මේ මන්ත්‍රි හමුවේදී මුලින්ම අදහස් දැක්වූයේ පොහොට්ටුවේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම්ය. පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකරද මෙහිදී අදහස් දැක්වීය. මේ දෙදෙනා කතා කළේ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධවය. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයටත් එකඟ වෙලා දැන් 22ට එකඟ වෙන්නේ කොහොමද? ඒක කරන්න අමාරුයි කාරියවසම් කීවේය.
සරත් වීරසේකර සුපුරුදු පරිදි ජනාධිපති බලතල ඉවත් කිරීමට විරුද්ධව අදහස් දැක්වීය.
බුලත් අතක් දී වැඳලා කිව්වත් ආණ්ඩුව විසුරුවන්නේ නැතිලු
මන්ත්‍රිවරුන් බොහෝ දෙනකු අසන්නට සිටින ප්රශ්නය ජනාධිපතිගෙන් ඇසුවේ මහින්දානන්දයි. අවුරුදු දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවන බවට 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් වෙනවා. ඒත් පාර්ලිමේන්තුව විසුරුවනවාද නැද්ද කියලා ඔබතුමා සහතිකයක් දුන්නොත් අපේ අය සෑහීමකට පත්වේවි.
මහින්දානන්දගේ ප්‍රශ්නයට ජනාධිපති දුන්නේ තරමක් සැර ඍජු පිළිතුරකි. “ඔබතුමා බුලත් අතක් අරගෙන ඇවිත් වැඳලා ඉල්ලුවත් මම අවුරුදු දෙකහමාරෙන් පාර්ලිමේන්තුව විසුරුවන්නේ නෑ.”
ජනාධිපති දුන් මේ පිළිතුරට කවුරුත් සිනාසුණත් ඒ පිළිතුර කොන්ද පණ ඇති රාජ්‍ය නායකයකු පිළිබිඹු කරන්නට තරම් ශක්තිමත් බව නම් පෙනේ.
කලක් රාජපක්ෂලා ආරක්ෂා කරමින් දේශපාලනයේ යෙදුණු ගාමිණී ලොකුගේ මෙහිදී ජනාධිපති අමතමින්, ද්විත්ව පුරවැසිභාවය පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන ඔබතුමාගේ ස්ථාවරය අපට පැහැදිලි කරන්නැයි ඉල්ලීමක් කළේය.
ජනාධිපති පිළිතුරු දෙමින් “මේක මම ගෙනාපු ව්‍යවස්ථා සංශෝධනයක් නෙවෙයි. ඒත් මගෙන් අහපු නිසා මම උත්තරයක් දෙන්නම්. ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ යෝජනාව මම ගෙනාපු එකක් නෙවෙයි. මේ යෝජනාව ගෙනාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමයි” කීවේය.
22 පැරදුණොත් IMF ගේට්ටු වැහෙනවා
ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නට බැරි වුණොත් අපට මුහුණ දෙන්නට සිදුවන ජාත්‍යන්තර තත්ත්වයන් ගැන මෙහිදී පැහැදිලි කර දෙන්නට ඉදිරිපත් වූයේ ඇමැති අලි සබි්රයි. මේක සම්මත කර ගන්න බැරි වුණොත් අපිට අයි.එම්.එෆ් එක්ක සාකච්ඡාවට යන්න බැරි වෙනවා. ව්‍යවස්ථා සංශෝධනයකින් තමයි දේශපාලන ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු වෙන්නේ. එතැනින් පස්සේ ආර්ථික ප්‍රතිසංස්කරණවලට යන්න පුළුවන්.
මේක මඟ හිටියොත් තෝ නසී. ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක්. මොනවා වුණත් අපි මේ ව්‍යවස්ථා සංශෝධනයට මුහුණ දෙන්න වෙනවා. මේක මඟහරින්න බෑයි ජනාධිපති රනිල් කීවේ ස්ථීර හඬකිනි.
පුද්ගලයකු මුල් කොට ව්‍යවස්ථා සංශෝධනය කරනවාට විරුද්ධලු
ආණ්ඩු පක්ෂයේ පොහොට්ටු කණ්ඩායමේ විශේෂ රැස්වීම පැවැතියේ මීට පසුව ඉකුත් බදාදායි. මෙදින සාකච්ඡාවට ලක්වූයේද 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැනය. මෙම රැස්වීමේ මන්ත්‍රිවරුන් බහුතරයේ හඬ වූයේ බැසිල්ගේ ඇමරිකන් හඬයි. සංජීව එදිරිමාන්න සංශෝධනයට ඍජුව විරුද්ධ බව පවසමින්, “මෙම ව්‍යවස්ථා සංශෝධනයට ප්‍රතිපත්තිමය වශයෙන් මම විරුද්ධයි. ආණ්ඩුවක් ව්‍යවස්ථාවක් හදන්න ඕනෑ රාජ්‍යයක් මුල්කරගෙන මිස පුද්ගලයන් ඉලක්ක කරගෙන නෙවෙයි. මේ ව්‍යවස්ථා සංශෝධනයට ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ යෝජනා ඇතුළත් වන්නේ පුද්ගලයන් ඉලක්ක කරගෙනයි. ඒ නිසා මම ඒකට විරුද්ධයි” කීවේය.
මුල සිටම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව එළිපිටම අදහස් දැක්වූ පොහොට්ටු ලේකම් සාගර කාරියවසම් ආණ්ඩුවට අනතුරුදායක පැත්තක් පෙන්නා දෙමින්, මේ මන්ත්‍රිවරු කී කතාවලට වඩා තවත් ලොකු අවදානමක් තියෙනවා. මොකද මේකට විපක්ෂයත් උදවු කරන බව කියනවා. ව්‍යවස්ථාව සම්මත වුණොත් විධායක බලය පාර්ලිමේන්තුවට ලැබෙනවා. එහෙම වුණොත් අය _ වැයට අපේ කවුරුවත් සහාය දෙන එකක් නෑ. පොහොට්ටු ලේකම්වරයා ඔහුගේ මතය වඩාත් තහවුරු කරන්න දේශපාලන බලය පිළිබඳව ආණ්ඩුව මුහුණ දී ඇති තත්ත්වය ගැන කීවේ මෙවැන්නකි.
රනිල් ජනපති කරන්න 134ක් ඡන්දෙ දුන්නා;
දැන් 120ක් ගන්නත් බෑ
“ජනාධිපතිවරයා පත් කරන්න පොහොට්ටුවේ ඡන්ද 134ක් ලැබුණා. නමුත් දැන් අපිට ඡන්ද 120ක් වත් නෑ. අපේ තව මන්ත්‍රිවරු 10 දෙනෙක් තීන්දුවක් ගත්තොත් අපිට ආණ්ඩුව නැතිවෙනවා. එහෙම අවදානමක් ගන්න එපා” කියායි.
“ව්‍යවස්ථා සංශෝධනයේ කරුණු ගැන අපි මෙතැන නිකම් කතා කරලා වැඩක් නෑ. අපි මේක කතා කරන්න ඕනෑ අධිකරණ ඇමැතිතුමා එක්කයි. එතුමා මෙතෙන්ට එන්නෙ නැත්තේ මොකදැ”යි සුමිත් උඩුකුඹුර මන්ත්‍රිවරයා ප්‍රශ්න කළේය. අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂගේ නොපැමිණීම අභ්‍යන්තර ප්‍රශ්නයක් බව පොහොට්ටුවේ සමහර මන්ත්‍රිවරු කියති. ඔහුගේ ක්‍රියා කලාපය ගැන විපක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරුද අදහස් ප්‍රක්ශ කර තිබිණි.
මේ තත්ත්වය තවදුරටත් ඔඩුදුවන්නට නොදුන් අගමැති දිනේෂ් “අපිට අද තවත් මීටිමක් තියෙනවා. අධිකරණ ඇමැතිතුමා ඒකට සහභාගි වෙනවා” යැයි කියා සාකච්ඡාව වෙනත් පැත්තකට හරවන්නට උත්සාහයක් ගත්තේය.
පොහොට්ටු රැස්වීමට රනිල් කැඳවා නෑ
බොහෝ වේලාවක් නිහඬව සිටි මහින්ද රාජපක්ෂ යෝජනා කළේ මේ ගැන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කොට තීරණයක් ගමුයි කියාය. ඒකට අගමැතිතුමා ප්‍රධානත්වය ගන්න.
“සර්, ජනාධිපතිතුමා උඩ ඉන්නවා. එතුමා ගෙන්වන්න පුළුවන්” ජනාධිපතිගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් ආශු මාරසිංහ කීවේය. එහෙම නම් එතුමාට එන්න කියමුයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති කීය.
මෙහි විශේෂත්වය වන්නේ ජනාධිපති රනිල්ට මෙම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට ආරාධනයක් නොකර තිබීමය. දේශපාලනයේ හොඳටම පැසුණු මහින්ද, රනිල් රැස්වීමට සහභාගි කරවා ගැනීමට යෝජනා කළේ ආණ්ඩුව තුළ අර්බුදයක් ඇති වීම වළක්වා ගැනීමට විය හැකිය.
විධායක බලය නැතිව බැරි බව එස්.බී. කියයි
රනිල් කණ්ඩායම් රැස්වීමට සහභාගි වීමට පැමිණි අවස්ථාවේ අදහස් දැක්වූයේ එස්.බී. දිසානායකයි. “විධායක ජනාධිපති බලතල ඉවත් කරනවාට මම විරුද්ධයි. ආර්ථික වශයෙන් වැටිලා ඉන්න වෙලාවක රට ගොඩගන්න විධායක බලය අවශ්‍යයි. දියුණුවන රටකට ඕනෑ ආඥාදායකයෙක් වගේ පාලකයෙක්” යැයි එස්.බී.ගේ අදහසට හරස් වූ ජනාධිපති රනිල් “මම හිට්ලර් කෙනෙක් නෙවෙයි. මම ආවෙ ඔළුව පාවිච්චි කරලා ගේමක් ගහන්නයි. මම ඔය වචනයට කැමැති නෑ”යි, තරමක හඬකින් කීවේ එස්.බී.ට පිළිතුරක් ලෙසිනි.
ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගේන්නේ ලෝකෙට පේන්න
ගංජා ගැන, රාත්‍රි සවාරි ගැන කතා කරන රාජ්‍ය ඇමැතිනි ඩයනා විධායක බලය පාර්ලිමේන්තුවට ආවාම පොලිසිය හා හමුදාව කොයි විධියට වැඩ කරයිද කියලා විශ්වාස නෑයි මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ජනාධිපතියි. “මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක බලතල අහෝසි වෙන්නේ නෑ. අපි හිටියේ ප්රජාතන්ත්රවාදය නැති රාමුවක. මිනිස්සු එළියේ මහජන පාර්ලිමේන්තු හැදුවා. දැන් ඒ තත්ත්වය පාලනය වෙලා. අපිට මේ ව්‍යවස්ථා සංශෝධනය ඕනෑ රටේ දේශපාලන ප්‍රතිසංස්කරණය කළා කියලා ජාත්‍යන්තරයට පෙන්වන්න. එතකොට තමයි ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කරන්න වගේම අයි.එම්.එෆ්. එකත් එක්ක කරන සාකච්ඡා සාර්ථක වෙන්නේ. එහෙම නැති වුණොත් අනිවාර්යයෙන්ම රටේ ආහාර අර්බුදයක් ඇති වෙනවා. ඔබතුමන්ලා ඒක තේරුම් ගන්න. අපි මහජන මතය බලන්න ඕනෑ. මහජන මතය තියෙන්නේ ව්‍යවස්ථා සංශෝධනයටයි. මහජන සහාය නැතිව ගමනක් යන්න බැහැ”යි ජනාධිපති දිගු කරුණු දැක්වීමක් කළේය.
මානව හිමිකම් කොමිසමේ සභාපති ආණ්ඩුවට විරුද්ධයිලු
ස්වාධීන කොමිෂන් සභා ගැන අදහස් දක්වමින් ජනාධිපතිවරයා කිවේ “මේ කොමිෂන් සභා එක්ක දිගට යන්න බැහැ. මේ කොමිෂන් සභා කොමසාරිස්වරු වැඩ කරන්නේ අපිට නෙවෙයි. මානව හිමිකම් කොමිසමේ සභාපති වැඩ කරන්නේ අපිට විරුද්ධව. මැතිවරණ කොමිසමේ සභාපතිත් එහෙමයි. මොන පදනමකින් මේ අය පත් කළාද කියන්න මම දන්නෙ නැහැ. අපි බෙදිලා වැඩක් නෑ. අප බෙදන්න ඕනෑ විපක්ෂයයි. ලබන අප්‍රේල් වෙනකොට රටේ ප්‍රශ්න යම් මට්ටමකට විසඳෙන්න පුළුවන්. ඔබතුමන්ලා මේ ව්‍යවස්ථා සංශෝධනය ගැන වැරදි අවබෝධයක් තියාගන්න එපා” කියායි.
බැසිල් එනවද නැද්ද කියන්න ඒ ඇති?
කවදත් තරමක වෙනස් අදහස් දක්වන තිස්සකුට්ටිආරච්චි, “සර්, කවුරුත් මෙතැන ඇත්ත කියන්නේ නෑ. මේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණොත් බැසිල් රාජපක්ෂ මහත්තයට නැවත දේශපාලනයට එන්න පුළුවන්ද කියන ප්රශ්නයයි මෙතැන තියෙන්නේ.”
ජනාධිපතිගෙන් ඇසුවේ බොහෝ මන්ත්‍රිවරුන් තුළ කැකෑරෙමින් තිබෙන ප්රශ්නයකි.
එයට පිළිතුරු දුන්නේ ඇමැති නිමල් සිරිපාලයි.
“පුද්ගලයකු ඉලක්ක කරලා ව්‍යවස්ථා හදන්න බෑ. ද්විත්ව පුරවැසිභාවය තියාගන්නවට ශ්‍රී ලනිපෙ අපි විරුද්ධයි. ඒක අයින් නොකොළොත් අපි සහාය දෙන්නේ නෑ. කාටහරි ප්‍රශ්නයක් තියෙනවා නම් දෙවැනි වර කියැවීමේදී සංශෝධනයක් ගේන්න. එතකොට ඡන්දයකට යන්න පුළුවන්.”
ජනාධිපතිවරයාද නිමල්ගේ අදහසට පක්ෂව කරුණු දැක්වීය.
“ඔබතුමන්ලා අධිකරණ ඇමැතිතුමා එක්ක කතා කරලා තීරණයක් ගන්නැ”යි ජනාධිපති මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.
මැතිවරණ කල් දැමීමට එරෙහිව විපක්ෂයේ
ඒකාබද්ධ ප්‍රකාශය
ආණ්ඩුව මැතිවරණ කල් දැමීමට ගනිමින් සිටින උත්සාහය මෙන්ම එය වැළැක්වීමට විපක්ෂය ඒකාබද්ධ දේශපාලන ව්‍යාපාරයක් දියත් කිරීමේ අවශ්‍යතාව ගැන සමගි ජන බලවේගය මන්ත්‍රි කණ්ඩායමේ විශේෂ රැස්වීමක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.
නිදහස් ජනතා සභාවද මේ සම්බන්ධව විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයන් සම්බන්ධ කර ගනිමින් විශේෂ සාකච්ඡා වට කිහිපයක්ද පවත්වා තිබුණේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමටය. එම ප්‍රකාශයට අස්සන් තැබීම පසුගිය බ්‍රහස්පතින්දා පක්ෂ නායකයන්ගේ සමුළුවකදී සිදු කෙරිණි.
ස.ජ.බ., ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, 43 සේනාංකය, නිදහස් ජනතා සභාව ඇතුළු විපක්ෂයේ පක්ෂ මේ ප්‍රකාශයට අස්සන් තබා ඇත. විශේෂයෙන් මේ කටයුත්තේදී නිදහස් ජනතා සභාව විශේෂ කාර්යභාරයක් ඉටු කළේය.
ජාතික ජන බලවේගයත් අනුමැතිය දීලා
විපක්ෂයේ සියලු පක්ෂ එක් තැනකට ගන්නා එක මේ වෙලාවේ වැදගත් බව චරිත හේරත් පැවැසූ අතර, ඒක නම් ඇත්ත, මේ වෙනකම් ඉටුකර ගන්න බැරි වුණෙත් ඒකම තමයි, නාලක ගොඩහේවා එම පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කළේය.
පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ පක්ෂ නායකයෝ කමිටු අංක 7 ශාලාවේදී එක්වූහ. නිදහස් කණ්ඩායම මෙම කටයුතු සංවිධානය කිරීම ගැන ස්තුතිය පළ කළහ.
සජිත් මෙම එකමුතුවට සහාය දීම ගැනත්, ජ.වි.පෙ. නායක අනුර කුමාර ඒකාබද්ධ ප්‍රකාශයට අනුමැතිය පළ කිරීම ගැනත් ප්‍රතිඥා දීම ගැනද මෙහිදී සාකච්ඡා වී තිබේ. නිදහස් ජනතා සභාව නියෝජනය කරන මහාචාර්ය චන්න ජයසුමන ලෝකයේ ප්‍රධාන විද්‍යාඥයන් 38 දෙනා අතරට තෝරා ගැනීම ගැන නිදහස් සභාවේ මන්ත්‍රිවරු සිය සතුට පළ කළහ. මේ සුබ ආරංචිය මන්ත්‍රි පිරිස සැමරුවේ කේක් ගෙඩියක් කාර්යාලයට ගෙනැවිත් කැපීමෙනි.
ලෝකයම පිළිගත් මහාචාර්යවරයෙක් නිදහස් කණ්ඩායම නියෝජනය කිරීම අපට සතුටක් බව ඩලස් හැඟීම්බරව පැවැසුවේ කේක් ගෙඩිය කැපීමට පිහිය චන්න අතට දෙමිනි.
කේක් කෑල්ලක් අතට ගනිමින් ඩිලාන් පෙරේරා කීවේ නිදහස කියන්නේ කොහොමත් උගත් දැනුවත් කුලකයකින් හැදුණු කණ්ඩායමක් බව කීවේය.
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂට සාගලගෙන් උපදෙසක්
ගෙවුණු සතියේ නැඟෙනහිර පළාතේ නිල සංචාරයක යෙදුණු ජනාධිපතිවරයා දෙවැනි දින පැමිණියේ අම්පාර හාඩි උසස් කාර්මික විද්‍යාලයේ පැවැති නිල සාකච්ඡාවකට සහභාගි වීමටය. නිල සාකච්ඡා පැවැත්වීමට සංවිධානය කර තිබූ ආකාරය ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකට රිස්සුවේ නැත. ජනපති ඇතුළු දේශපාලන ප්‍රමුඛයන් ඉහළ පීඨිකාවක සිටීමත් රාජ්‍ය නිලධාරීන් පහළ කොටසක සිටීමත් නොගැළපෙන බව තේරුම් ගත් සාගල ආසනයේ සිටි ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ධනුෂ්ක රාමනායක කැඳවා රැස්වීම පැවැත්වෙන ආකාරය වෙනස් කරන්නයි උපදෙස් දුන්නේය. ජනාධිපතිතුමාව පහළ නිලධාරීන් ළඟට රැගෙන යන්න. මෙහෙම දිගටම රැස්වීම් තිබ්බොත් ජනාධිපතිමා මිනිසුන්ගෙන් දුරස් වෙනවායි මාධ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාට කීවේය. රැස්වීමේ ස්වභාවය වෙනස් කරමින් ජනාධිපති රනිල් රාජ්‍ය සේවකයන් අසලටම ගොස් ප්‍රශ්න විමසන්නට වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
මුලින් රටට ඩොලර් ගේමු අපේ ප්‍රශ්න පසුව විසඳමු
එම රාජ්‍ය සේවක පිරිස තමන් මුහුණදෙන රාජකාරි ප්‍රශ්න ගැන ජනාධිපතිවරයා දැනුවත් කරමින් අපට වැඩ කරන්න යටිතල පහසුකම් නෑ. “යතුරුපැදියක් හරි දෙන්න පුළුවන් නම් හොඳයි කී විට ජනාධිපති දුන්නේ අනපේක්ෂිත පිළිතුරකි.”
“පවතින ආර්ථික තත්ත්වයත් එක්ක ඔයාලගේ වැටුප ගෙවන්නෙත් අපි බොහොම අමාරුවෙන්. ඉස්සෙල්ලා වගා කරමු. ඩොලර් රටට ගේන්න වැඩ පටන් ගනිමු. ඉන්පසුව මේ ප්‍රශ්න විසඳමු”යි ජනාධිපතිගේ ප්‍රකාශයෙන් එම නිලධාරි පිරිස සතුටට නම් පත්වන්නට ඉඩක් නැත.
බෙනට් රූපසිංහ






