Home Local News Room : සිරි අයියගෙ ටිකිරි මොළේ – මව්බිම

News Room : සිරි අයියගෙ ටිකිරි මොළේ – මව්බිම

0
0


ලෝකයේ ඇතැම් රටවල් කඩා වැටෙන්නට හේතු වූයේ ඒවා බොහොමයක් මෙහෙය වූ අමන පාලකයන් නිසාය. එකී පාලකයන් හට උඩගෙඩි දෙන මැති ඇමැතිවරුන් රොත්තක් හා ඊටම ගැළපෙන දූෂිත නිලධාරි පෙළැන්තියක් මේ සියල්ල පිටුපස වන බවට අතීත කතා බොහෝය. කඩාවැටුණු ආසන්නතම රටක ශෝකාන්තය කෙතරම් කටුක දැයි දැනෙන්නේ ඒ තැනට ඇදවැටුණු පසුවය. අප තවමත් එතැනට වැටී නැති බවට පුරසාරම් ‍ෙදාඩවන ඇතැම් අමන නායකකාරකාදීන් සිටියා වුවද ජනතාවට නිවැරදි සත්‍ය වටහා දිය යුතුය. මේ ග්‍රීසිය කඩා වැටුණු මොහොතේ එරට පිළිබඳව The Economist සඟරාව 2015 ජුනි මසදී පැවැසූවකි.

“ග්‍රීසිය විසින් ලබා ගන්නා ලද රාජ්‍ය ණය ආපසු ගෙවීම පැහැර හැරීම නිසා උද්ගතව ඇති තත්ත්වය ලොවටම බලපාන්නක් බවට පත්ව තිබේ. මේ වන විට ආසියානු මිල දර්ශක පවා පසුබෑමක් දක්වයි. 28දා සිට සතියක් එරට බැංකු වසා තැබිය යුතු යැයි ග්‍රීක රජය නියම කළේය. මේ නිසා ස්වයංක්‍රිය මුදල් යන්ත්‍ර අසල දිගු පෝලිම් විය. ඒවායින් මුදල් ලබාගැනීම් යුරෝ 60ක උපරිමයකට යටත් විය. මෙයින් කාඩ් භාවිත නොකරන විශ්‍රාමිකයන් වැනි අය අපහසුතාවට පත්වූ හෙයින් එවැන්නන්ගේ පහසුව සඳහා දිනකට සීමාසහිත කාලයක් කවුන්ටර් විවෘත කරන්නට පසුව තීරණය කරන ලදී.”

ග්‍රීසියේ මිනිසුන් ඉතා හොඳ ජීවන තත්ත්වයක සිටිද්දී දේශපාලකයන් එක්ව මංපහරන්නන් ලෙස ජනතා ධනය කොල්ලකෑමත්, රාජ්‍ය යාන්ත්‍රණය දේශපාලනීකරණය කිරීමත් නිසා “මංකොල්ලයේ ප්‍රතිඵල” එලෙස එරට ජනතාවට අත්විඳින්නට සිදුවූයේය. එහිම කාබන් පිටපතක් මෙන් මෙරට ආර්ථිකයද කාබාසිනියා කර තිබෙන මොහොතක ඉතාමත් නරක ඉසව්වක් වෙත රට අද ගමන් කරමින් තිබේ.

ග්‍රීසියේ තත්ත්වය 2015 වෙද්දී එසේය. එම කාලවකවානුව තුළ රාජපක්ෂවරුන්ගේ පාලනය තුළ මේ රට හපයක් බවට පත්කොට, ප්‍රතිඵල ගෙන නොදෙන කොන්ක්‍රීට් ව්‍යාපෘති හා සංවර්ධන ඇස්බැන්දුම් පෙන්වා තිබිණි. එය ගී්‍රසියටත් වඩා සාහසික මංකොල්ලයක් සිහිගැන්වූයේය. ජනතාව මහත් පීඩාවට පත්වෙමින් තිබුණු අතර, දූෂණය හා වංචාව ඉහවහා ගිහින් තිබුණු සමයක මහින්ද එදා වීරයා වුව ඔහු ඇතුළු නඩය පන්නා දැමීමට ජනතාව පෙරට ආවේ මේ අනතුර හැඟුණු නිසාය. දැනුණු නිසාය.

“යහපාලනය කියන වචනය මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ හැදුවේ රාජපක්‍ෂලාගේ සාහසික පාලනය තුරන් කරලා රට ගී්‍රසියක් වීම වළක්වන්නයි. ඒ වටා ජනතාව රොක් වුණා. තමන් වටේ තිබුණු අනතුර දැක්කා. අති බහුතරයක් දෙනා කාවහරි දාලා මේ වෙනස කරමුයි කියලා එක අරමුණකට ආවා. ඒකට කවුරුත් එකතු වුණා. නායකයෙක් ඕනෑ වුණා. රනිල් දාමු, කරු දාමු කිව්වා. තව තව අයගේ නමුත් කියැවුණා. හොඳම තෝරා ගැනීම කරුය කියලා කතා වුණා. අන්තිමට චන්ද්‍රිකා මෛත්‍රිව හො¼දා කියලා ගෙනාවා.

රනිල් කරුට නොදී මෛත්‍රිව දැම්මා. මෛත්‍රි මේ අති බහුතර බලවේගය බලයට පත් වෙච්ච පහුවදා ඉඳලම නොතකා හැරලා එයා වෙනම ගේමක් ගැහුවා. යහපාලනයෙන් පටන් ගත් යෝජනාවලට පයින් ගැහුවා. රට ස්ථාවර කරන අසීරු ඉලක්කයන්වලදී යහපාලන ආණ්ඩුවේ කකුලෙන් ඇද්දා. ශ්‍රී ලනිපය විනාශ කළා වගේම එජාපයත් භේදභින්න කළා. අන්තිමට පිස්සුවෙන් වගේ තමයි රට පාලනය කළේ. ගොඩක් උද්ධච්ච වුණා. ඒ ගැම්ම ඒ විධියටම ගහලා රට ගොඩ දැම්ම නම් මහින්ද තියා මහින්දගේ සනුහරේ මොකෙක්වත් පැත්ත පළාතකට එන්නෙ නෑ. මේ විනාශයට බරපතළ විදියටම වගකිව යුතු කෙනා තමයි මෛත්‍රි.”

රට ගිය අත හා රට යන අත ගැන බොහෝ සංවේදී වෙමින් අපට හමුවූ, යහපාලනයට ඡන්දය දුන් ප්‍රබල සාමාජිකයකු අපට කීවේ එලෙසය.

“මෛත්‍රි මේ විනාශයට බරපතළ විධියට වගකියන්න ඕනෑ කියලා කාට වුණත් කියන්න පුළුවන්. ඒ වුණාට ඒක ඔප්පු කරන්න පුළුවන්ද?”

“එතකොට රට මේ තැනට වැටුණේ මීට ඉස්සර හිටපු නායකයෝ රට කාපු නිසා නොවෙයිද?”

එහෙමත් අදහස් දක්වන, ඒ වගේම ප්‍රශ්නත් කරන මිනිසුන් රට පුරා බොහෝය. ඒ අතර මේ සියල්ලටම හේතු කාරණා දක්වන මධ්‍යස්ථ මිනිසුන්ද බොහෝය. ඉන් එක් අයකු අපට දැක්වූ අදහස් මෙසේය.

“ජීවිතේට බලයට ඇවිත්, රටේ නායකයා වෙන්න බැරි කෙනකු පොදු පරමාර්ථ වෙනුවෙන් ජනාධිපතිවරණයකට ඉදිරිපත් කළාම, එයා දැනගන්න ඕනෑ ඒක එයාට ජනතාව දුන්නු රාජකාරියක්ය කියලා. පක්‍ෂ කීයක, සිවිල් සංවිධාන කීයක මිනිස්සු ඡන්දෙ දීලද ජනාධිපති කළේ. නමුත් ඒ බලාපොරොත්තු පයිසෙකට ගණන් ගන්නෙ නැතිව තනි මතයට තමන්ව බලයට ගෙනාපු බලවේග එක්ක හැප්පි හැප්පි කාලය කා දැම්මා. ඒ නිසා කරන්න තිබුණු බොහෝ දේ මඟහැරුණා. ඒ අවාසනාවන්ත ඉරණමට ඇදලා දාපු, ඒ පාලනය එපා කරවපු කකුල් මාට්ටු දැම්ම අතීතය නොවෙන්න මේ රට මේ තරම් වැටෙන්නෙ නෑ. මිනිස්සු මේ තරම් විපතට වැටෙන්නෙ නෑ.”

ජනතා අපේක්ෂා සමඟ වෙට්ටු දැමූ, ගේම් ගැසූ නායකයකුට හා ඒ නායකයන්ට උඩගෙඩි දුන් අයද අද වැටී හමාරය. ඒ නිසාම සිදු වූ තවත් දෙයක් වනුයේ දූෂිත යැයි රටක් ජනතාවක් ප්‍රතික්ෂේප කරපු නායක කාරකාදීන්ම යළි බලයට ඒමය. ගෝඨාභය පෙරටු කරගෙන මහින්දලා බලයට ආවේ ඒ අනුව බව රට තොට කතා වෙන ඇත්තය. මෙම ඛේදවාචකයේ තරම කියාගෙන ජනතා බලාපොරොත්තු අහිමි වීමේ නාටකයේ රඟ දැක්වෙන තැන් බොහෝය.

රාජපක්‍ෂලාව එපා කියා ඔහුව පරාජයට පත් කරවන්නට නායකත්වය දුන් මෛත්‍රිම යහපාලනයට පහර දීමත්, එපාය කියූ මහින්ද යළි අගමැති කරවීමත් යන අප්‍රසන්න නාටකයේ පැතිකඩක රඟ මෙසේය.

“කොහොමත් මං හොරුත් එක්ක කටයුතු කරන්නේ නෑ. එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමයි”

මෛත්‍රිපාල සිරිසේන

(2018. ජුනි 17 මව්බිම)

“එජාපයට තියෙන අමාත්‍යාංශ බලාගැනීම අගමැතිගේ වැඩක්. මම බලන්නේ ශ්‍රී ලනිපය යටතේ තියෙන අමාත්‍යාංශ ගැනයි.”

(2018 ජුනි 17 මව්බිම)

මේ ප්‍රකාශ දෙකම කියවූ පාඨකයාට තේරුම් යවන්න හදන්නේ මෛත්‍රි හොරුත් එක්ක නෑය කියලාය. රනිල් එයාගේ යූඑන්පීයෙ ඇමැතිවරුන් බලාගන්නා අතර තමන් ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් ගැන බලාගන්නා බවය. රටට ගලා ගියේම මේ දෙපාර්ශ්වය දෙපැත්තකට අදිද්දී බවය.  මෛත්‍රි එහි ප්‍රමුඛ කසකරුවා බවය. තමන් අතේ නැති පොලිසිය භාර ඇමැතිකමටද මෛත්‍රි පුංචි කෝචොක් එකක් දැම්මේ මෙහෙමය.

“පොලිසිය මගේ අතේ නෑ. පොලිසිය භාර ඇමැතිවරු, අමාත්‍යාංශය, දේශපාලන පක්‍ෂ ඒවාට වග කියන්න ඕනෑ.”

මෛත්‍රිපාල සිරිසේන

(2018 ජුනි 17 මව්බිම)

මේවා කියවන ජනතාව හිතන්නෙ. “බොලේ  රටේ නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නෑනේ. දෙගොල්ලෝ දෙපැත්තට අදිනවානේ” කියලාය. මෙතැනදී මෛත්‍රිපාල කළේ “මුන් එක්ක මට තවත් යන්න බෑ. මුං හරි නෑ මං තමයි “හරිය” කියලා වන්නට පුළුවන.

එම තත්ත්වය මත ව්‍යවස්ථාවට පටහැනිව මෛත්‍රි, යහපාලනයකට ඡන්දය දුන් ජනතාවට කනේ් පහරක් ගසමින් “නරකයි කියපු මහින්දව” හිටි ගමන් අගමැති ලෙස පත් කළේය. එසේ පත්කොට එකම වේදිකාවකට නැඟ මහින්ද ළඟ තබාගෙන මෙසේද කීවේය.

“මහින්දත් මාත් වසර හතරකට පසුව එකම වේදිකාවකට ආවා. ඒ ගැන මම සතුටු වෙනවා. හිටපු අගමැති රනිල්ව ඉවත් කළේ ව්‍යවස්ථානුකූලවයි. මම අගමැති පුටුවට මාරු කළේ ශරීර දෙකක් නොවෙයි. මාරු වූයේ දේශයට අහිතවත්, අපට නොගැළපෙන, දේශීයත්වය අගය නොකරන, විදේශිකයන්ට ආවඩන දර්ශනය අප ඒ අගමැති පුටුවෙන් ඉවත් කළා. දේශයට ගැළපෙන විදේශීය දේශපාලන න්‍යායපත්‍ර ප්‍රතික්ෂේප කරන ඔබේම අපේම දේශීිය නායකයෙක් ඒ පුටුවට පත් කළා. ගැළපෙන දර්ශනය අද අගමැති පුටුවේ.”

මෛත්‍රිපාල සිරිසේන

(2018 11.05)

(පාර්ලිමේන්තු වට රවුම අසල)

මෛත්‍රි එලෙස පත් කළ අගමැති මහින්ද යහපාලනයට ඡන්දය දුන් අති බහුතරයකට කනේ පහරක් දෙන ආරේ කතාද කීවේය. ඒ මෛත්‍රි ළඟ තියාගෙනය. මෛත්‍රිම දූෂිත බව කියූ මහින්ද මෛත්‍රිගෙන් අගමැති පදවි අරන් කී කතාවක් මෙසේය.

“ආර්ථික ප්‍රපාතයෙන් රට ගොඩනැඟීමට රජයේ අනවශ්‍ය වියදම් කපා හරිනවා. ජනාධිපතිතුමා ජාතිය අමතලා කිව්වනේ එතුමා මට රට භාර දුන්නේ බැරිම තැනට ආවට පස්සෙයි කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් යටතේ මට රට භාර දෙනකොට ඒ වගකීම භාර නොගෙන ඉන්න පුළුවන්ද? මේක අපේ රටේ ජාතියේ, අපේ මතු පරම්පරාවේ ඉරණම පිළිබඳව ප්‍රශ්නයක්.”

මහින්ද රාජපක්ෂ

2018.11.25 දා

(කොළඹදී විශේෂ ප්‍රකාශයක් කරමින්)

දූෂිතයන් පොලු ගසා වනසා දමන්නට කෑ මොර දුන් මෛත්‍රි  මෙසේද කීවේය.

“මහින්ද පත් කළේ ව්‍යවස්ථානුකූලවයි. ඝාතන කුමන්ත්‍රණය හමුවේ එකම විකල්පය මහින්ද යටතේ නව ආණ්ඩුවක් හැදීමයි.”

මෛත්‍රිපාල සිරිසේන

2018.10.27 දා

(ජනාධිපති කාර්යාලයේදී)

මෛත්‍රි සමඟ කිසිදාක ඩීල් දමන්නේ නැතැයිද, ඔහුත් එක්ක මොන ආණ්ඩු දැයි කිය කියා මහින්ද ගියද ඊට වසරකට උඩදී ජන රැලියක් අමතමින ඔහු කියූවක් මෙසේය.

“මා ජනතාව සමඟ මිස දේශපාලන නායකයන් එක්ක ඩීල් දාන්නේ නෑ. එක සැරයක් රැවටුණාට තව සැරයක් රැවටෙන්න සූදානම් නෑ.”

මහින්ද රාජපක්ෂ

2017.11.12 දා

(අනුරාධපුර සල්ගාදු පිටියේදී)

මෛත්‍රි කියපු “යහපාලනය” ඔහුට හරි හැටි කරගන්නට බැරි වීම ගැන එක එක අ‍ෙ¼දා්නාවල් නිතර නිතර ඒ අවස්ථාවල අහන්නට තිබුණේය. ඒ අ‍ෙ¼දා්නා කෙසේ වුවද 18 වැනි සංශෝධනය අනුව මහින්ද යක්ෂ ව්‍යවස්ථාවක් හැදූ බවත් ඒ වෙනුවට 19 සංශෝධනය තමන් මුල් වී ගෙනා බවත් මෛත්‍රි එදා නිතර කීවේය. එහෙත් ඔහුම මේ දෙක ගැන කීවේ මෙසේය.

“ශ්‍රී  ලංකාව යහපත් රටක් ලෙස ගොඩනැඟීමට නම් 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත්, 19 වැනි සංශෝධනයත් යන දෙකම අවලංගු කළ යුතුයි.”

මෛත්‍රිපාල සිරිසේන

2019.06.22 දා

(නිවිතිගලදී)

යහපාලනයත්, 19 සංශෝධනයත් පසුව හොඳ නැතැයි කියූ මෛත්‍රි, යහපාලන කාලයේ පාසල් දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය කරගෙන යන්නට ටැබ්, පරිගණක දෙන්නට මුදල් වෙන් කරද්දී ඊට එරෙහි වුණේය. ඒවා අනවශ්‍ය වියදම් කීවේය. එහෙත් ඔහු මෙසේද කියා තිබුණේය.

“ලස්සන රටක හොඳ මිනිසුන් හදන්නේ කොහොමද? ලස්සන රටක හොඳ අධ්‍යාපනයක් ලබනවා නම් කොහොමද හිර ගෙවල් පිරෙන්නේ. ලස්සන රටක කොහොමද මිනිසුන් වැරැදි දේවල්වලට යොමු වෙන්නේ. මේවා තමයි අපට තිබෙන ප්‍රශ්න.”

මෛත්‍රිපාල සිරිසේන

2019.06.21

(නිවිතිගලදී)

රටක් යා යුතු මඟක් වේ නම් ඒ මඟ නිසි ලෙස යන්නට උර දෙනවා, දිරි දෙනවා විනා ඊට එරෙහිව පෞද්ගලික  මතිමතාන්තර හා උද්ධච්චකම් මතු කර නොගත යුත්තේය. නායකයා පාලකයා නම් ඔහු වඩාත් ජනතාවාදී විය යුතුය. ජනතාවට සංවේදී විය යුතුය. එසේ නොවුණු හැම තැනකදීම රටක් වළපල්ලට මිස උඩට එන්නේ නැත. ඒ නිසා වත්මන් හිරිහැරවලට, අර්බුදවලට මෙවන් හේතු බොහෝය. ඒවා ජනතාව දැනගත යුතුය. මේ සටහන අවසන් කරන්නට පෙර පසුගියදාක පුවත්පත් ශීර්ෂ පාඨයක තිබුණු යමක් මෙහි දැක්වීම කළ යුතුමය.

“පෙරදිග ධාන්‍යාගාරය ජුනි 8දා ලෝකයෙන් කන්න ඉල්ලයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාව වෙනුවෙන් ලෝකයේ සෙසු රටවල්වලින් ආහාර හා ඔෟෂධ ඉල්ලීමේ සූදානම්.” (පුවතක්).

මේ කතා අහගෙන උන්නු. ආයෙත් රැවටුණු, ආයෙ ආයෙත් රැවටුණු මහජනතාව කඩමණ්ඩියේ සිරි අයියාගේ පිළට වී ලුණු ඇඹුල් ඇතිව කියන කතා අහන්නට වටින්නේය. ඒ තරමටම ඒවා රසවත්ය. අවාසනාවකට ඒවා ඇතැමුන්ගේ ටිකිරි මොළයට වැටහෙන්නේම නැත.

සජිත් රෝහිත ලියනගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here