Home Local News Room : ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය නෙදර්ලන්තයත් ලකුණු 16කින් පැරැදූ...

News Room : ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය නෙදර්ලන්තයත් ලකුණු 16කින් පැරැදූ ශ්‍රී  ලංකාව සුපිරි 12 වටයට

2
0


සුපිරි 12 වටයට යෑමට නම් නෙදර්ලන්තය අනිවාර්යයෙන්ම පරාජය කළ යුතුව තිබූ මොහොතක එම කඩඉම සපුරා ගත් ශ්‍රී ලංකා පිල නෙදර්ලන්තය ලකුණු 16කින් පරාජය කරමින් 22දා ආරම්භ වන සුපිරි 12 වටයට පැන ගැනීමට සමත්විය. ආරම්භක තරගයේදීම නැමීබියාව හමුවේ අමිහිරි පරාජයක් අත්කර ගත්තද අවසන් තරග දෙකම ජයගත් ශ්‍රී ලංකා පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වීමද විශේෂත්වයකි.

එහිදී නෙදර්ලන්ත පන්දු යවන්නන් දෙකේ කොළයට දමා පිත්ත හැසිරූ කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට පිතිහරඹයට පින් සිදුවන්නට ශ්‍රී ලංකාව ලැබූ 162ට පිළිතුරු සැපයීමට පැමිණි නෙදර්ලන්ත ඉනිම ලකුණු 146කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවිය.

ලකුණු 162ක ඉලක්කයක් පසුකිරීමට පිටියට පිවිසි නෙදර්ලන්ත ආරම්භක පිතිකරුවන් අතුරින් වික්‍රම්ජිත් සිං ලකුණු 7කට දවාගත් තීක්‍ෂණ නෙදර්ලන්තයට පළමු වෙඩි මුරය එල්ල කළේය. නෙදර්ලන්ත පළමු කඩුල්ල ලකුණු 23කට අහිමි වෙද්දී ලකුණු 14ක් ලබා සිටි ලීඩා කඩුලු රකින මෙන්ඩිස් අතට උඩපන්දුවක් ලබාදී ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ දැවී යන විට නෙදර්ලන්ත ලකුණු පුවරුව කඩුලු 2කට ලකුණු 40ක් ලෙස දැක්විණි. අනතුරුව කොලින් ඇක්‍රමන් ආ විගසම ක්‍රීඩාගාරයට හරවා යැවූ හසරංග නෙදර්ලන්ත කඩුලු දඩයමද ඇරැඹීය. කඩුලු 3කට ලකුණු 46ක් වූ නෙදර්ලන්ත ඉනිමට ලකුණු 25ක දායකත්වය සපයා දෙමින් සිටියදී තීක්‍ෂණගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමත් සමඟ ටොම් කූපර්ගේ ඉනිම නිමාවට පත්විය.

කෙසේ වෙතත් මැක්ස් ඔ ඩවුඩ්ට එකතු වූ නායක ස්කොට් එඩ්වර්ඩ් නෙදර්ලන්ත ඉනිම සෙමින් සෙමින් ඉදිරියට ඇදගෙන ගියද එම සබඳතාවය ලකුණු 28කට සීමා කිරීමට බිනුර ප්‍රනාන්දුට හැකිවිය. ඉන් අනතුරුව නෙදර්ලන්ත කඩුලු එකින් එක බිඳ වැටෙද්දී එක් අන්තයක් ආරක්‍ෂා කරගත් ඩවුඩ් නෙදර්ලන්ත ඉනිමේ නැංගුරම බවට පත්විය. නෙදර්ලන්ත කඩුලු 9ක් ලකුණු 123කට අහිමි වෙද්දී නෙදර්ලන්තය ජයග්‍රහණය කරා ගෙන යෑමට නෙදර්ලන්ත ආරම්භක පිතිකරුවා වූ ඩවුඩ් මහත් වෙහෙසක් ගත්තේය. එහිදී 18 වැනි පන්දුවාරය යැවූ බිනුර ප්‍රනාන්දුගේ පන්දුවාරයට 15ක් සොරාගත් ඩවුඩ් 19 වැනි පන්දුවාරය යැවූ තීක්‍ෂණට හයේ පහර දෙකක්ද සමඟින් ලකුණු 16ක සංග්‍රහයක්ද කළේය.

අවසානයේදී නෙදර්ලන්ත ඉනිමේ සාර්ථක වූ එකම පිතිකරුවා බවට පත්වූ මැක්ස් ඔ ඩවුඩ් පන්දු 53කට මුහුණ දී හතරේ පහර 6ක් හා හයේ පහර දෙකක්ද සමඟින් නොදැවී ලකුණු 71ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා ඉනිම කර තබාගෙන ගිය කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය.

ගීලෝන් හි කාදිනියා පිටියේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව ලකුණු රැස්කිරීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක තීරණය කළේය.

නායකයාගේ තීරණයේ යම් ප්‍රශ්නාර්ථයක් මතු කරමින් ආරම්භක පිතිකරුවන් දෙපොළ වූ පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් යම්කිසි පීඩනයකින් පන්දුවට පහර දෙන සෙයක් දක්නට ලැබුණු අතර, පන්දුවාර 5ක් අවසන් වෙද්දිත් ඔවුන් දෙදෙනාට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 22ක් පමණි.

පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 36ක සබඳතාවක් එක්වෙද්දී ලකුණු 14ක් ලබා සිටි නිස්සංකගේ මැද ඉන්න ගලවා දැමූ මීකරන් ඊළඟ පන්දුවේදී ධනංජය ද සිල්වා කිසිදු ලකුණක් ලබා ගැනීමට පෙර දවාගනිමින් ශ්‍රී ලංකා පිල අමාරුවේ දැමීය. 

කඩුලු 2ක් ලකුණු 36ක් තුළ බිඳ වැටී තිබියදී මෙන්ඩිස්ට එකතු වූ චරිත් අසලංක ගරා වැටුණු ඉනිම පිළිසකර කිරීමට බලවත් වෙහෙසක් දැරීය. සෙමින් සෙමින් ලකුණු පුවරුව ඉහළ දැමූ අසලංක හා මෙන්ඩිස් ශ්‍රී ලංකාවට හිස කෙළින් තබාගැනීමට අවශ්‍ය මාර්ගය සකසා දුන්හ.

ලකුණු 31ක් ලබා සිටියදී ලීඩ්ගේ පන්දුවක් හමුවේ අසලංක දැවී ගියද මෙන්ඩිස් සමඟ එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60ක ඉතා වටිනා සබඳතාවක් එක්කිරීම සඳහා දායකත්වය සැපයීය.

ඉන් අනතුරුව මෙන්ඩිස්ට එකතු වූ භානුක රාජපක්‍ෂ වේගවත් ලකුණු 34ක දායකත්වයක් ශ්‍රී ලංකා ඉනිමට එක් කළේය. ලකුණු 19ක් ලබා සිටි රාජපක්‍ෂගේ දැවී යෑමෙන් අනතුරුව පැමිණි ශ්‍රී ලංකා නායකයා එක් හයේ පහරක් සමඟින් ලකුණු 8ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකා ඉනිම කර තබාගෙන ගිය මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ 6වැනි කඩුල්ල ලෙස දැවී යන විට සුපිරි ලකුණු 79ක් ලබා සිටියේය.

පන්දු 44කට මුහුණ දී හතරේ පහර 5ක් හා හයේ පහර 5ක්ද සමඟින් මෙන්ඩිස් ලබාගත් ලකුණු 79 ඔහු විස්සයි-20 දිවියේ ලැබූ 9 වැනි අර්ධ ශතකය මෙන්ම ඉහළම ලකුණු සංඛ්‍යාව සම කිරීමක්ද විය.

විචිත්‍ර වීරසිංහ ගීලෝන්හි කාදිනියා පාක් පිටියේ සිට…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here