පාර්ලිමේන්තුවට මෙතෙක් ඉදිරිපත් කර නැති ගිණුම් සහ වාර්තා ගැන විමසීමට අය-වැයට පෙර අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන් පාර්ලිමේන්තුවට කැඳවීමට, උපදෙසක් හෝ නියෝගයක් නිකුත් කරන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන, කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) ඉල්ලීමක් කළේය. පසුගිය කාලයේ වර්ෂ ගණනාවක් තිස්සේ රාජ්‍ය ආයතන ගණනාවක් අදාළ ගිණුම් සහ වාර්තාවන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මුදල් පිළිබඳ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට තිබෙන බව ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නිතරම ප්‍රකාශ කරන බවත්, මේ නිසා මෙම ආයතන ප්‍රධානීන් කැඳවීමෙන් පාර්ලිමේන්තුවට තිබෙන මෙම බලයට යළි ගෞරවයක් ලැබෙන බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
“දැනට වාර්තා වී තිබෙන ආකාරයට රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාවේද අන්තර්ගත වී නොමැති වැදගත් කාරණාවක් ඔබතුමාගේ සහ පාර්ලිමේන්තුවේ අවධානයට ගේන්න කැමැතියි.” පසුගිය කාලයේ වසර ගණනක් තිස්සේ ගිණුම් හා වාර්තාවන් රාජ්‍ය ආයතන ගණනාවක් ඉදිරිපත් කර නෑ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටවත් පියවර ගෙන නෑ. මේ පිළිබඳ මම හිතනවා, මුදල් කළමනාකරණය, මුදල් පිළිබඳ අයිතිය පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාව යටතේ ලබාගෙන තිබෙන බව නිතර දෙවේලේ කියනවා. දෙපාර්ශ්වයම කියනවා.
දෙපාර්ශ්වයම ආණ්ඩු කරන කාලවල මේ ආයතන රාශියක් තම යුතුකම් කොටස ඉෂ්ට කරලා නෑ. ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. වහාම මෙම ආයතන පිළිබඳව කැඳවීමක්, මොකද අදාළ අමාත්‍යාංශවල ලේකම්වරු තමයි ප්‍රධාන ගිණුම් නිලධාරීන් වන්නේ. ගිණුම් නිලධාරීන්ට මේවා අහක බලාගෙන ඉන්න බැහැ. ඉතින් මේ අය-වැය ලේඛනය ඉදිරිපත් කිරීමට ප්‍රථම, මේ සියලුම ආයතනවල ප්‍රධානීන් කැඳවා, එසේ නැත්නම් අදාළ කාරක සභාවට ඒ අය කැඳවා, ක්‍රියා කරන ලෙස උපදෙසක් හෝ නියෝගයක් නිකුත් කරන්නේ නම්, පාර්ලිමේන්තුවේ මේ තියෙන බලයට යම් කිසි ගෞරවයක් යළි ලැබෙයි.
අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි






