Home Local News Room : ආර්ථික අර්බුදය බ්‍රිතාන්‍ය අගමැතිනියත් දවස් 44න් ගෙදර යවයි

News Room : ආර්ථික අර්බුදය බ්‍රිතාන්‍ය අගමැතිනියත් දවස් 44න් ගෙදර යවයි

0
0


බ්‍රිතාන්‍ය අගමැතිනී මේරි එලිසබෙත් ට්‍රස් කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයෙන් හා අගමැති ධූරයෙන් ඉවත් වන බවට ඊයේ (ඔක්. 20) නිල නිවේදනයක් කරමින් ප්‍රකාශ කළා ය.

ඒ අනුව, බ්‍රිතාන්‍ය ඉතිහාසයේ කෙටි ම කාලයක් අගමැති ධූරය දැරූ තැනැත්තිය බවට ලිස් ට්‍රස් පත්වේ.

කොන්සර්වේටිව් පක්ෂයෙන් තමා තේරී පත් වූ ජනවරමට අනුව ක්‍රියා කිරීමට තමා අපොහොසත් බව දන්නා බැවින් මෙසේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ යැයි කී ඇය ඒ බව මහ රජුට දැනුම් දුන්නේ යැයි ද ඩව්නිං ස්ට්‍රීට් කාර්යාලයෙන් පිටතදී අදහස් දක්වමින් කීවා ය.

කෙසේ වෙතත් පුරප්පාඩු වූ නායකත්වය වෙනුවෙන් ඉදිරි සතිය ඇතුළත තෝරාගැනීමක් වනු ඇතැයි ද එතෙක් අගමැති ධූරයේ තමා ක්‍රියා කරන්නේ යැයි ද අගමැතිනිය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.

ලිස් ට්‍රස් එක්සත් රාජධානියේ අගමැතිනිය බවට පත්වූයේ බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීමෙන් හිස්වූ කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා පැවැති තරගයෙන් ජයග්‍රහණය කිරීමෙනි.

හිටපු අගමැති බොරිස් ජොන්සන් ධූරයෙන් ඉවත් වන අවසන් මොහොත දක්වා ම ඔහුට පක්ෂපාතීව සිටි චරිතයක් වන ලිස් ට්‍රස්ට ඒ නිසා ම හිටපු අගමැතිවරයාගේ මිත්‍ර පාර්ශ්වයේ සහය හිමි විය.

බදු කපා හැරීම සහ රාජ්‍ය සේවය හැකිළීම ඇගේ ප්‍රධාන පොරොන්දු වූ නමුත් නව ආර්ථික පිළිවෙත දැවැන්ත කැලඹීමකට හේතු වූ අතර කොන්සර්වේටිව් පක්ෂයේ ද තියුණු බෙදීමකට මගපෑදුවේ ය.

ඩේවිඩ් කැමරන් හා බොරිස් ජොන්සන් යන අගමැතිවරු හා තෙරේසා මේ අගමැතිනිය යටතේ විවිධ ඇමැතිකම් දැරූ මේරි ලිස් ට්‍රස් 47 හැවිරිදි වියේ පසු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here