එක්තරා, රජෙක් මාලිගාවේ විවේකී සුවෙන් සිටින විට, ජනේලය දෙසින් කටහඬක් ඇසුණි.
“රස ඇපල්! රස ඇපල්! මේවා දෙව්ලොව රස ඇපල්”
වියපත් වෙළෙන්දෙක් අශ්ව කරත්තයක ඇපල් විකුණන බව ඔහු දුටුවේය. අවට ගනුදෙනුකරුවන් බොහෝ සිටි අතර රජු තම ප්‍රධාන අමාත්‍යවරයා කැඳවීය.
“මෙන්න ඔබට රන් කාසි 5ක්, දුවලා ගිහින් මට ඇපල් ගෙඩියක් මිලදී ගන්න.” කීවේය.
ප්‍රධාන අමාත්‍යවරයා එක් වාසල ඇමැතියකු කැඳවා “මෙන්න රන් කාසි 4ක්, දුවලා ගිහින් ඇපල් ගෙඩියක් මිලදී ගන්න”යි කීවේය.
ඔහු මාලිගාවේ නිලධාරියකු කැඳවීය.
“මෙන්න ඔබට රන් කාසි 3ක්. දුවලා ගිහින් ඇපල් ගෙඩියක් මිලදී ගන්න..” යි කීවේය.
මාලිගාවේ නිලධාරියා සෙන්පතියා කැඳවා, “ආ ඔබට රන්කාසි 2ක්. දුවලා ගිහින් ඇපල් ගෙඩියක් මිලදී ගන්න.”යි කීවේය.
සෙන්පතියා මුර සෙබළෙකු කැඳවා,
“ආ ඔබට රන් කාසි 1ක්. දුව ගොස් ඇපල් ගෙඩියක් මිලදී ගන්න”යි කීවේය.
මුර සෙබළා මහලු වෙළෙන්දා කරපටියෙන් අල්ලාගෙන,
“ඒයි, තමුන් මොකද කෑගහන්නේ? මේක තානායමක්ද? මාලිගාවක්ද? මේකෙන් අයින් වෙන්න. මම ඔබේ කරත්තය සහ ඇපල් රාජසන්තක කරනවා” යි කීවේය.
මුර සෙබළා සෙන්පතියා වෙත හැරී,
“මෙන්න, රන් කාසිය සඳහා ඇපල් කරත්ත භාගයක්.”
සෙන්පතියා මාලිගාවේ නිලධාරියා දෙසට හැරී
“මෙන්න, රන්කාසි 2 සඳහා ඇපල් ගෝනියක්”
මාලිගාවේ නිලධාරියා ඇමැති වෙත හැරී
“මෙන්න, රන්කාසි 3ක් සඳහා ඇපල් මල්ලක්”
ඇමැති මහඇමති වෙත හැරී
“මෙන්න, රන්කාසි 4ක් සඳහා ඇපල් මල්ලකින් අඩක්” කීවේය.
මහ ඇමැති රජු ඉදිරියේ පෙනී සිටියේය.
“මෙන්න, මම රන් කාසි 5කට ඇපල් පහක් ගත්තා මගේ රජතුමනි. ඔබ ඇණවුම් කළ ආකාරයටම.”
රජු වාඩි වී කල්පනා කළේය.
“ඇපල් පහක් – රන් කාසි පහකට? ඒ කියන්නෙ පුරවැසියන්ගේ තත්ත්වය ඉතා හොඳයි. වහාම බදු වැඩි කළ යුතුයි…”
රජු කීවේය.
අන්තර්ජාලයේ පළ වී තිබූ මේ කතාව ලංකාවට අද හොඳහැටි ගැළපේ.
මේ දිනවල රට පුරා වැඩියෙන්ම කතා වෙන්නේ බදු ගැනය. බදු මාතෘකාවක් වී ඇත්තේ ආණ්ඩුව ගෙනඑන්නට යන බදු වැඩපිළිවෙළ නිසාය, බදු පිළිබඳව ඇති කතාව අතිශයින් පැරණිය.
මාතලේ විමුක්ති අරගලය නැතහොත් 1848 විමුක්ති අරගලය යනුවෙන් හැඳින්වෙන කැරැල්ල ශ්‍රී ලංකාවේ බි්රතාන්ය පාලනයට එරෙහිව ආණ්ඩුකාර ටොරින්ටන් සාමිගේ (හත් වැනි වයිකවුන්ට් ටොරින්ටන්) කාලයේදී හට ගත්තේය. එම කැරැල්ලෙහි යටත් විජිත පාලන ක්‍රමයකට එරෙහිව පැරණි වැඩවසම් ක්රමයේ කැරැල්ලක ලක්ෂණ නොපෙනේ.
නමුත් මේ කැරැල්ල ආරම්භ වුණේ ඇඟ බද්දට එරෙහිවය.
සාමාන්‍යයෙන් රටක රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20කට ආසන්නයේ තිබිය යුතුය. බරපතළ මතක් වැය වන්නේ 2000 වසරෙන් පසු ලංකාවේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 ආසන්නයටවත් ගොස් නැත. 1978දී සියයට 29ක් වූ එය 1987දී සියයට 24කි. 1992දී සියයට 22ක් වූ එය 1996දී සියයට 20ක් විය. 1950දීත් සියයට 16ක් වූ එය 2020දී සියයට නවයකි. මෙතරම් පහළ අගයකට එය කඩා වැටුණේ ලංකා ඉතිහාසයේ පළමු වරටය. මෙසේ වීමට බලපෑ පළමු හා ප්‍රධාන කාරණය බදු සංශෝධන මඟින් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 522කින් අහිමි කර ගැනීමය.
2019 වසරේ අග භාගයේදී පවතින ආණ්ඩුව විසින් ඉතා ලිහිල් බදු ක්‍රමවේදයක් හ¾දුන්වා දුන්නේය. කෘෂිකර්මය සහ තොරතුරු තාක්ෂණය හා සඵල සේවා සඳහා බදු නිදහස් කිරීම්, බදු අඩු කිරීම් සහ බදු විරාම වැනි බදු සහන ගණනාවක් හ¾දුන්වා දෙමින් එකතු කළ අගය මත බද්ද, පුද්ගල ආදායම් බද්ද, සංස්ථාපිත ආදායම් බද්ද යන බදුවල අනුපාත අඩු කිරීම සහ එකතු කළ අගය මත බද්දෙහි හා පුද්ගල ආදායම් බද්දෙහි බදු පදනම සංකෝචනය කිරීම මෙම ප්‍රතිසංස්කරණවලට ඇතුළත් විය.
2019 වසරේ 12.7%ක්ව පැවැති එම අනුපාතය, 2020 වසරේදී 9.1% දක්වා අඩු වූ අතර, 2021 වසරේදී එය 8.7% දක්වා තවදුරටත් අඩු විය.
2019 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.6%ක්ව පැවැති අය-වැය හිඟය, 2020 වසරේදී 11.1% දක්වාද, 2021 වසරේදී 12.2% දක්වාද පුළුල් විය.
2019 වසරේදී 86.9%ක්ව පැවැති දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය, 2020 වසර වන විට 100.6%ද, 2021 වසරේදී 104.6%ද දක්වා ඉහළ ගියේය. වාර්ෂික පදනම මත උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවැති 29.8% සිට 2022 මැයි මාසයේදී 39.1% දක්වා අඛණ්ඩව ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ආහාර උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ 46.6% සිට 2022 මැයි මාසයේදී 57.4% දක්වා ඉහළ ගිය අතර ආහාර නොවන උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ 22.0% සිට 2022 මැයි මාසයේදී 30.6% දක්වා ඉහළ ගියේය.
මේ සියලු කරුණු ඒකරාශි වීමෙන් අද වන විට රට ඇත්තේ බංකොලොත් අඩියකය. ආණ්ඩුවේ ඇමැතිවරු කියන්නේ රටේ ආර්ථිකය බරපතළ අගාධයකට කඩාගෙන වැටෙමින් යන බවත් කරන්නට ඇති එකම දේ වන්නේ එය කඩා වැටෙන වේගය අඩු කිරීම බවත්ය. ඒ උදෙසා ආණ්ඩුව බදු පිට බදු පනවමින් සිටී.
2017 අංක 24 දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම පිළිබඳව දේශීය ආදායම් පනත් කෙටුම්පත (සංශෝධන) පිළිබඳ ගැසට් නිවේදනය ඔක්තෝබර් 12 වැනිදා නිකුත් කරනු ලැබුවේ ඔය අතරේය. ගැසට් නිවේදනයට අනුව මාසික ආදායම රුපියල් ලක්ෂය හෝ ඊට වඩා වැඩි පුද්ගලයන්ගෙන් ආදායම් බද්දක් අයකරනු ලැබේ. අඩුම බදු අනුපාතය 06%ක් වන අතර ඉහළම බදු අනුපාතය 36%කි. කාණ්ඩ 06ක් යටතේ බදු අය කෙරෙන අතර 06%, 12%, 18%, 24%, 30%, 36% ලෙස ආදායම
අනුව බදු ප්‍රතිශත ඉහළ දමන බව පැවැසේ. එම දෙවැනි මාස 06හි ආදායම රුපියල් ලක්ෂ 6 සීමාව ඉක්මවන්නේ නම් එහිදී වැඩිවන පළමු රුපියල් 2,50,000 සඳහා 6%ක බදු මුදලක් අයකිරීමට යෝජිතය. දෙවැනි මාස හයේ මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් 2,50,001 සිට රුපියල් ලක්ෂ 5 අතර ආදායම පවතින පුද්ගලයකුගෙන් 12%ක් සහ මුල් ලක්ෂ 5 සීමාව ඉක්මවා රුපියල් ලක්ෂ හතහමාරක් දක්වා 18%ක ආදායම් බද්දක් අයකර ගැනීමට යෝජනා කර ඇත.
රුපියල් 7,50,001ත් රුපියල් මිලියනයත් අතර ආදායම පවතින පුද්ගලයකු 24%ක්ද රුපියල් මිලියනයට වැඩි මිලියන 1.2ක් උපයන පුද්ගලයන්ගෙන් 30%ක ආදායම් බද්දක් සහ රුපියල් මිලියන 1.2කට වැඩි ආදායමක් ලබන පුද්ගලයකුගෙන් 36%ක ආදායම් බදු ලෙස අය කරගැනීමට යෝජිතය.
2023 අප්‍රේල් 01 වැනිදා සිට ඉදිරි වර්ෂයක් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත දේශීය ආදායම් බදු නීතිය අනුව වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12ක් වන පුද්ගලයකුගෙන් ආදායම් බදු අයකිරීමක් සිදු නොවේ.
එතැන් සිට උපයන අතිරික්ත රුපියල් ලක්ෂ 5 සඳහා සියයට 6ක බදු මුදලක් අය කෙරේ.
මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 10 දක්වා උපයන පුද්ගලයකුගෙන් සියයට 12ක්ද අය කෙරේ.
මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 10 සිට රුපියල් ලක්ෂ 15 දක්වා වාර්ෂිකව ආදායම උපයන පුද්ගලයකුගෙන් සියයට 18ක් බදු වශයෙන් අය කර ගැනීමට යෝජිතය.
මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 15 සිට රුපියල් ලක්ෂ 20 දක්වා වාර්ෂිකව ආදායම් ලබන පුද්ගලයකුගෙන් සියයට 24ක් මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 20 සිට රුපියල් ලක්ෂ 25 දක්වා වාර්ෂිකව උපයන පුද්ගලයකුගෙන් සියයට 30ක් හා මුල් ලක්ෂ 12 හැර ආදයම රුපියල් ලක්ෂ 25 ඉක්මවන පුද්ගලයකුගෙන් සියයට 36ක ආදායම් බද්දක් අයකරගැනීමට යෝජිතය.
බලාගෙන ගියාම සහමුලින්ම බදුය. ඔළුව උස්සන්නට බැරි තරම් බදුය.
අතීතයේ පටන් මෙරට පැවැතියේ කෘෂිකර්මාන්තය මූලික කරගත් ආර්ථික තත්ත්වයක් නිසා බොහෝ විට ජලය හා සම්බන්ධයෙන් බදු ක්‍රම හ¾දුන්වාදී තිබූ බව පෙරියම්කුලම් ශිලාලේඛනයේ දැක්වේ. එහි වන්නේ වැවේ ජලය කුඹුරුවලට බෙදා දීමේදී අයකළ බදු මුදලක් සම්බන්ධවය.
කඩ බද්ද, ගම් බද්ද, මරාල බද්ද, බුලත්මණ්ඩප බද්ද, තීරු බද්ද, රෙදි බද්ද, ඇඟ බද්ද, මස්රන් බද්ද, තොටුපළ බද්ද, කොළවෙල් බද්ද, මුතු බද්ද, මැණික් බද්ද, පුවක් බද්ද, ගම්මිරිස් බද්ද, ගව බද්ද, කිතුල් බද්ද, රට බද්ද, හුවන්දිරම් බද්ද, ඉරවරිය ආදී වශයෙන් බදු ක්‍රම රාශියක් ඒ කාලයේදී පැවැති බව ‘සිංහලාංඩුව‘ කෘතියේ තිබේ.
කෙසේ නමුත් මෙකී බදු ක්‍රම මඟින් මෙකල ජීවත් වූ ජනයාට එතරම් අපහසු වී නොමැත්තේ රාජ්‍ය පාලකයන් රටවැසියන් නිරන්තරයෙන් දිරිමත් කළ නිසා සහ අදාළ කෘෂිකාර්මික අවශ්‍යතා කලට වේලාවට ලබාදුන් නිසාය. හරියටම කිව්වොත් මල නොතළා රොන් ගත් නිසාය. එහෙත්, 1922දී ලංකාව පාලනය කළ බි්රතාන්යයේ සුද්දන් විසින් ලංකාවේ පුරවැසියන් වෙත ඇඟ බද්දක් පැනවීය.
ඇඟ බද්ද නොගෙවන අය දිනක් මහමඟ ගල් කැඩිය යුතු විය. තරුණ ලංකා සංගමයේ සාමාජිකයෝ රුපියල් 2ක ඇඟ බද්ද ගෙවනු වෙනුවට පාරේ ගල් කැඩීමට තීරණය කළේ ඒ අනුවය. මුලින්ම එයට බොහෝදෙනා එකඟ වූ නමුත් අවසානයේ ඒ.ඊ. ගුණසිංහ මහතා පමණක් මරදානේ මහ පාරේ ගල් කැඩීම ආරම්භ කළේය. පුරා දිනයක්ම වෙහෙස වී මිටියකින් කළු ගල් කැඩූ ඔහුගේ දෑත්වලින් ලේ ගලන්නට විය.
සවස් වන විට වන විට ක්‍රමක්‍රමයෙන් ඔහු හා පිරිස එක් වන්නට විය.
මුලින්ම 2,000ක පමණ පිරිසක්ද පසුව එම පිරිස 8,000 දක්වාද වැඩි විය. ඇඟ බද්ද නොගෙවා ගල් කැඩීමට පටන් ගත් පිරිසගේ සංඛ්‍යාව දස දහස් ගණනින් වැඩි වීමත් සමඟම ඉංග්‍රීසි පාලකයෝ විසින් මේ ඇඟ බද්ද ඉවත් කළහ.
අද වෙනකොට ලංකාණ්ඩුවද බරපතළ බදු තොගයක් ගොඩගසා තිබේ.
එහි කෙළවර කුමකින් කුමක් සිදු වෙයිද බලන්න වෙන්නේ ඉස්සරහටය.
මේඝනාද






