ගලේවෙල පට්ටිවෙල ගමේ සිටි සුනඛයන් රැසක් කිසියම් පුද්ගලයකු විසින් පසුගිය පොහෝ දින වස දී මරාදමා ඇති බව මාධ්‍යවල ප්‍රචාරය විය. මෙවැනි අමානුෂික ක්‍රියාවක් කළ පුද්ගලයකු සිටින එම ගමෙන්ම බල්ලන් හා බළලුන් ජීවත් කරවීමට ඇපකැප වී සිටින පුද්ගලයකු සිටීම සඳහන් කළ යුතු සිද්ධියකි.
ඔහු නමින් එස්.ඒ.රත්නපාල නොහොත් කළු අයියාය. ඔහු එම ගමේ අක්කර 200ක පමණ ගොවිපොළක් පවත්වාගෙන යන්නෙකි. 75 දෙනකු පමණ එහි සේවයේ යෙදී සිටිති. ඇතැම් පුද්ගලයන් විටින් විට ගෙනැවිත් දමන සුනඛයන් හා බළලුන්ගේ නවාතැන බවට පත්වී ඇත්තේ රත්නපාලගේ මෙම අතිවිශාල ගොවිපොළයි. ඔහු ලබාදෙන ආහාරවලින් මෙම සතුන් ජීවත් වෙති.
මෙම සතුන්ට තුන්වේලටම ආහාර සපයන ඒ මහතාට දිනකට හාල් කිලෝ හත, අටක් වැයවේ. ඒ අනුව සුනඛයන් 50කට ආසන්න සංඛ්‍යාවක් හා බළලුන් 15ක් පමණ මෙම ගොවිපොළේ සේවය කරන අයගේද සැලකිලි ලබමින් ජීවත් වෙති. මෙම සතුන්ට ආහාර පමණක් නොව ලෙඩක් දුකක් වැලඳුණහොත් ඒ සඳහා පියවර ගන්නා බව එම ගොවිපොළේ සේවය කරන පිරිස් පැවැසූහ. ජලභීතිකා එන්නතද මෙම සතුන්ට ලබාදීමට කළු අයියා පියවර ගෙන ඇති බවද ඔවුහු පැවැසූහ. තමාගේ යහපත් ක්‍රියාව පිළිබඳ කළු අයියා අප සමඟ මෙසේ පැවැසීය.
“මනුෂ්‍යයන් වන අපි මේ සතුන්ට ජීවත් වීමට උදවු උපකාර කළ යුතුයි. ඒක අපේ යුතුකමක්. මම ගොවිපොළින් පාඩු ලබන අවස්ථාවකදී වුවත් මෙම සතුන්ගේ කෑමවේල වරද්දන්නේ නෑ. මෙම ගොවිපොළේ සේවය කරන අයට තේ දෙනකොට පවා උන්ටත් විස්කිරිඤ්ඤා දෙනවා. මේ සතුන්ගේ ආවතේව කිරීමට වෙනම කෙනෙක් යොදවා තිබෙනවා.”
සියල්ල මුදල් මත තීරණය වන සමාජයක දයාව හා කරුණාව පිරි මෙවැනි උතුම් මිනිසුන් සිටීම රටටම වාසනාවකි.
ගලේවෙල – තිලක් පල්ලේගෙදර






