අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් ගොනු කරනු ලැබ ඇති නඩුව සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඔක්. 31 වන දා දක්වා කල් ලබා දී තිබේ.
තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා වරාය නාවික හා ගුවන් කටයුතු අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා අදාළ නඩුව ගොනුකර තිබිණි.
එම නඩුව අද (ඔක්. 19) කැඳවනු ලැබු අවස්ථාවේදී වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම අදාළ නියෝගය නිකුත් කර ඇත.
එහිදී අදාළ නඩුවේ දෙවන විත්තිකරු වශයෙන් නම් කර සිටින පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර වෙනුවෙන් නීතිඥවරයකු පෙනී සිට නොමැත.
ඒ අනුව, දයාසිරි ජයසේකරට ලබන 31 වන දා කරුණු දක්වන ලෙස දන්වා අධිකරණය නොතීසි නිකුත් කර තිබේ.
සමස්ත ලංකා කාරක සභාව නමින් රැස්වීමක් සංවිධානය කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉකුත් සැප්තැම්බර් මස 2දා පක්ෂ ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාව සංශෝධනය කරනු ලැබ ඇති බව ත් එම ව්‍යවස්ථා සංශෝධනය මගින් පක්ෂ මහ ලේකම්වරාට ලැබුණු බලතලවලට අනුව තමන් තනතුරුවලින් ඉවත් කර ඇති බවට විත්තිකරුවන් ප්‍රකාශ කරන බව ත් නිමල් සිරිපාල ද සිල්වා අධිකරණය හමුවේ සඳහන් කර ඇත.






