වාග්නර් කුලී හේවා බළකායේ ප්‍රධානී යෙව්ජීනි ප්‍රිගෝෂින් ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පුද්ගලයින් 10 දෙනෙකු මරණයට පත් කරමින් රුසියාවේදී කඩා වැටුණු ජෙට් යානයේ සිටි ගුවන් මගීන්ගේ ලැයිස්තුවේ ඔහුගේ නම ද ඇතුළත්ව තිබුණු බව රුසියාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළ බව ය.
ප්‍රිගෝෂින් 62 හැවිරිදි වියේ පසු විය.
වාග්නර් බළකායට සම්බන්ධ ටෙලිග්‍රෑම් නාළිකාවක් වන ග්‍රේ සෝන් සඳහන් කර ඇත්තේ, “රුසියාවේ ද්‍රෝහීන්ගේ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස” ප්‍රිගෝෂින් ජීවිතක්ෂයට පත් වූ බව ය.
ඔහු ගමන් කරමින් සිට ඇති ගුවන් යානය මගීන් 7 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු සමග මොස්කව් සිට ශාන්ත පීටර්ස්බර්ග් වෙත පියාසර කරමින් තිබී ඇති අතර එය මොස්කව් සහ ශාන්ත පීටර්ස්බර්ග් අතරමැද පිහිටි කුසෙන්කිනෝ නමැති ගම්මානයකට කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
වාග්නර් බළකායේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරී දිමිත්‍රි උට්කින් ද මගී ලැයිස්තුවේ සිටි ඇතැයි සඳහන් ය.
කුලී හේවායන්ගේ ප්‍රධානියා 2014 වසරේදී වාග්නර් බළකාය ආරම්භ කළ අතර රුසියානු සන්නද්ධ හමුදාවන්ට එරෙහිව ජූනි මාසයේදී අසාර්ථක කැරැල්ලක් ද මෙහෙයවීය.