Home Politics News Room : අලුත් අභියෝගවලට මුහුණ දී ජය ගන්න අපේ කර්මාන්තකරුවන් සූදානම්...

News Room : අලුත් අභියෝගවලට මුහුණ දී ජය ගන්න අපේ කර්මාන්තකරුවන් සූදානම් විය යුතුයි – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

2
0

අලුත් අභියෝගවලට මුහුණ දී ජය ගැනීමට අපේ රටේ කර්මාන්තකරුවන් සූදානම් විය යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

කර්මාන්ත අමාත්‍යාංශ මඟින් සංවිධාන කරනු ලබන කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති industry Sri Lanka 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ අවසන් දිනයේ සමාරම්භක උත්සවයට ඊයේ (25) එක් වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී ඇමැතිවරයා මෙසේ ද කීවේය:

“වැටුණු රට යළි ගොඩ නඟන්නට, දේශීය කර්මාන්තකරුවන්ට උත්තේජනයක් ලබාදීමට කර්මාන්ත අමාත්‍යාංශය සිදු කරන මේ වෑයම පැසසිය යුතුයි. කොවිඩ් වසංගතය හේතුවෙන් ලොව පුරා නිෂ්පාදන ක්ෂේත්‍රය අඩපණ වුණා; සැපයුම් ජාලය බිඳ වැටුණා. මේ හේතුවෙන් දියුණු බටහිර රටවල් මෙන්ම අපේ රටේ කර්මාන්තකරුවන්ද බැරෑරුම් අභියෝගයකට මුහුණ දුන්නා. ඉතිහාසයේ කිසිදා අත් නොදුටු මේ අලුත් අභියෝගයන්ට මුහුණ දී ජය ගන්න අපේ රටේ කර්මාන්තකරුවන් සූදානම් විය යුතුයි.

ගැටලු නිවැරදිව අවබෝධ කරගනිමින් ආර්ථික අභියෝග පිළිබඳ ආර්ථික දෘෂ්ටියකින් යුක්තව කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙමින්, රටට ආඩම්බරයක් විය හැකි කර්මාන්තකරුවන් අපේ රටේ සිටිනවා. රටක් ලෙස නැගී සිටීමට කාර්මික අංශයේ වර්ධනයක් අනිවාර්යයෙන් සිදු විය යුතු බව අනගාරික ධර්මපාල තුමා විසින් පෙන්වා දී තිබෙනවා. එතුමාගේ මග පෙන්වීම යටතේ බොහෝ දේශීය කර්මාන්ත බිහි වුණා. නමුත් විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමඟ වෙළෙඳ ආර්ථිකයකට මිස නිෂ්පාදන ආර්ථිකයකට අවධානය යොමු නොකිරීමේ ප්‍රතිවිපාක අද අපි භුක්ති විදිමින් සිටිනවා. විශේෂයෙන්ම අපනයන අභිමුඛ කරගත් කර්මාන්ත වඩාත් ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාවය වඩ වඩාත් මතුව තිබෙනවා. ජාත්‍යන්තරය දිනා ගතහැකි සිනමාව වැනි කර්මාන්තයන් නගා සිටුවීම තුළින් නව වෙළෙඳපොළක් විවෘත කරගත හැකි වනවා. එසේම අදෘශ්‍ය අපනයනයක් ලෙස තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළින් ඉන්දියාව වැනි රටවල් විශාල විදේශ විනිමයක් ඉපයීම අපේ රටට ද ආදර්ශයක් කරගත යුතුය. ඒ වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණකර්මාන්තකරුවන් විසින් ඉදිරිපත් කරන යෝජනා පිළිබඳව ද අවධානය යොමු කරමින් කටයුතු කිරීම කාලීන වශයෙන් ඉතා වැදගත්.“

කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ, සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු , වැඩබලන ආරක්ෂක ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරීන්, දෙස් විදෙස් ව්‍යවසායකයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය – ශාන් රූපස්සර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here